Thursday, 17 May 2012

සිත නිවන ආනාපාන සති ධ්‍යානය


UNICODE 

[UNICODE ]
ශ්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ ඉල් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2007 ක් වූ නොවැම්බර් මස 17 වැනිදා සෙනසුරාදා

සිත නිවන ආනාපාන සති ධ්‍යානය

තපෝවනයේ සුමේධ හිමි
සම්බුද්ධ දේශනයෙහි මූලික පරමාර්ථය වූයේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කොට සිතේ නිවීම ඇති කර ගන්නේ කෙසේ ද යන්න ලෝ වැසි ජනයාට පෙන්වා දීමය. සිතේ නිවීම ගැන සලකා බලන කල ඒ සිත නිවන මාර්ගය නම් බෞද්ධ භාවනා පිළිවෙත ලෙස දත යුතුය. එසේම බුදු දහමේ හදවත ද භාවනාවය. එහෙයින් කාමාදී අරමුණු බැහැර කොට සිතේ නිවීම සනසාලන ආනාපානසති භාවනාව තුළින් ධ්‍යාන සිත් උපදවාලන්නේ කෙසේදැයි සලකා බැලීම වැදගත් කරුණකි.
ඔබ මේ ලෝකයට උපන් මොහොතේ සිට මරණය දක්වා නොකඩවා සිදු කරන විශේෂ කාර්යයකි හුස්ම ගැනීම සහ හෙළීම. එය අප විසින් නිරායාසයෙන් සිදු කරනු ලබන කාර්යයකි. එහෙත් එම ක්‍රියාවලියට කිසිදු වටිනාකමක් මීට පෙර අප ලබා නුදුන්නා විය හැකිය. ආනාපානසති භාවනාවේ දී සිදු කරනු ලබන්නේ මෙතෙක් නුදුන් එම වටිනාකම එම ක්‍රියාවලියට ලබා දීම ය. එනම් ස්වාභාවිකව නාසයෙන් ඇතුළුවන පිටවන හුස්ම රැල්ල කෙරෙහි සිහිය උපදවා ඒ කෙරෙහි අවධානයෙන් සිටීම ආනාපානසති භාවනාව නම් වෙයි.
ආනාපානසති භාවනාව තුළින් ධ්‍යාන සම්පත්ති ඉපදවීමට බලාපොරොත්තු වන යෝගාවචරයන් විසින් ඒ සඳහා සුදුසු ස්ථානයක් සොයා ගත යුතුය. එනම් බාහිර ශබ්ද වලින් තොර ස්ථානයක් ම මේ සඳහා තෝර ගත යුතුය. මේ සඳහා වඩාත්ම යෝග්‍ය වන්නේ ආරණ්‍ය සේනාසන හෝ තම විහාරස්ථානයේ වැඩිපුර ජනයා නොගැවසෙන ස්ථානයක්ය. අනාපානාසතිය ආරම්භ කිරීමට ප්‍රථම තමා හොඳ සීලයක පිහිටා තෙරුවනට මල් පහන් පුදා දෙවියන්ට හා මළගිය ඤාතීන්ට පින් අනුමෝදන් කිරීමෙන් අනතුරුව පිළිවෙළින් බුද්ධානුස්සති, මෛත්‍රී භාවනාව, අසුභානුස්සති හා මරණානුස්සති ආදී සතර කමටහන් සුළු වේලාවක් ප්‍රගුණ කළ යුතුය. අනතුරුව, ‘එම්බල පමාවන පුරුෂය, තට වැඩ පිණිස, ජරා මරණ පැමිණීමට මත්තෙන් වහා භාවනා කරව‘ යනාදී වශයෙන් තමාටම අවවාද කොට, බුද්ධ පර්යංකයෙන් වාඩි වී, ශරීරය ඍජුව තබාගෙන කර්මස්ථානයට සිත යොමු කළ යුතුය. මෙහි දී හුස්ම රැල්ල නාසිකා අග්‍රයෙහි ගැටෙන ස්ථානයෙහි සිත පිහිටුවා ගෙන සිහියෙන් යුතුව හුස්ම දෙස අවධානයෙන් සිටීම කළ යුතුය. මෙහි දී ඔබ උවමනාවෙන් හුස්ම ගැනීම හෝ හෙළීම නොකළ යුතුය. එය ස්වාභාවිකවම සිදුවීමට ඉඩ හැරිය යුතුය. මෙසේ නාසිකා අග්‍රයෙහි ගැටෙමින් ඇතුළුවන හුස්ම රැල්ල, වැඩි වේලාවක් ඇතුළුවෙමින් පිටවන බව මුලින් ප්‍රකට වන්නට ඉඩ ඇත. එහෙත් ටික වේලාවක් භාවනා කරන විට දීර්ඝ වශයෙන් ප්‍රකට වූ හුස්ම කෙටි වශයෙන් ප්‍රකටවීමක් දැකිය හැකිය. එයට හේතුව නම් ඔබ භාවනා කෘත්‍ය සඳහා අසුන් ගැනීමට මත්තෙන් ක්‍රියාකාරීව පැවැති සිරුර සඳහා වැඩි වශයෙන් අම්ලකර වායු ප්‍රමාණයක් (ඔක්සිජන්) රුධිරයට අවශ්‍ය වූ නිසා බවත්, පසුව සිරුරේ ඇති වූ සන්සුන් බව නිසා අවම අම්ලකර වායු ප්‍රමාණයක් රුධිරය සඳහා අවශ්‍ය වූ නිසාත්ය. මෙසේ දීර්ඝ හුස්ම කෙටි හුස්මක් බවට පත් වූ බව දත යුතුය. කෙසේ නමුත් නාසිකා අග්‍රයෙහි හුස්ම රැල්ලක් ගැටෙමින් ඇතුළුවන විට ඔබ ඒ කෙරෙහි සිහිය ඉපදවිය යුත්තේ ‘ඇතුළු වනවා, ඇතුළු වනවා’ යැයි මෙනෙහි කිරීමෙනි. හුස්ම පිට වන විට ‘පිටවනවා, පිටවනවා’ ආදී වශයෙනි. තම නාසිකා අග්‍රය තුළින් වැඩි වේලාවක් හුස්ම ඇතුළු වන විට වැඩි වේලාක් හුස්ම ඇතුළු වනවා යැයි අවබෝධයෙන් දැන සිටීම ඇති විය යුතු ය. හුස්ම පිටවන විට ද වැඩි වේලාවක් නාසයේ ගැටෙමින් පිටවන බව දැනගත යුතුය. මෙසේ වැඩි වේලාවක් හුස්ම රැල්ලට සිහිය පිහිටුවා සිටින විට ආශ්වාස වායුව හා ප්‍රාශ්වාස වායුව කෙටි වශයෙන් (ස්වල්ප වේලාවක් තුළ) ඇතුළුවන බවත් පිටවන බවත් දැනෙන්නට වෙයි. ඔබ කළ යුත්තේ ඒ දැනෙන ආකාරයට සිහිය පැවැත්වීමය. මේ ආකාරයෙන් ආශ්වාස ප්‍රාශ්වාස වායුවට සිහිය පිහිටුවා සිටින විට භාවනාව ආරම්භ කරන අවස්ථාවට වඩා වැඩි කැමැත්තක් (භාවනාව අත් නොහැර දිගින් දිගටම ප්‍රගුණ කිරීමට ඇති කැමැත්ත) ඇතිවී ඉතා සියුම් ලෙස හුස්ම රැල්ල ප්‍රකට වන්නට වෙයි. මෙසේ අතිශයෙන් සියුම් වන හුස්ම රැල්ලත් සමගම මුළු සිරුරම පිනායමින් ඇතිවන ප්‍රමෝදය උපදින්නට වෙයි. මේ තරුණ ප්‍රිතිය නම් යැයි දත යුතුය. මෙහිදි පිනා යන ගතියෙන් යුතුව ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රකට වීම ඇතිවන්නේ ය. මේ අවස්ථාව වන විට කිසි සේත්ම මෙම කර්මස්ථානය අත් හැරීමට සිතක් පහළ නොවන්නේය. එය නිරාමිස ප්‍රීතිය උපදවන අවස්ථාවකි. ඒ සමගම ආශ්වාස ප්‍රාශ්වාස සංසිඳීගොස් නොදැනෙන තරමට එය සියුම් භාවයට පත්වන්නේය.
ආශ්වාස ප්‍රාශ්වාස වායුව මෙසේ සියුම් වී නොදැනී යෑමත් සමගම මීට පෙර නොදැනුණු ආකාරයකට නැවත හුස්ම රැල්ල ප්‍රකට වන්නේය. මෙසේ වෙනස් ආකාරයකට ප්‍රකට වූ හුස්ම රැල්ල කෙරෙහි සිහිය පැවැත්විය යුත්තේ මුල, මැද, අග, යන තුන් ස්ථාන ප්‍රකට වන සේ සිහිය පැවැත්වීමෙනි. හුස්ම රැල්ලේ මුල නම් ආශ්වාසය නාසිකා අග්‍රයෙහි ගැටෙමින් ඇතුළුවීමට පටන් ගැනීමය, මැද නම් පටන් ගැනීමටත් අවසන් වීමට අතර තුර ඇතුළුවෙමින් පවතින අවස්ථාවය, අග නම් හුස්ම ඇතුළුවී අවසන්වීමය. මෙසේ ප්‍රාශ්වාස වායුව පිළිබඳව ද එසේම දත යුතුය. එමෙන්ම මතක තබාගත යුතු කරුණක් නම් තුන්තැන ප්‍රකට කරගැනීම යැයි සිතා හුස්ම රැල්ල පසුපස සිත රැගෙන යාම නොකළ යුතු බවය. එසේ කිරිමෙන් පපුවේ තද ගතිය, හිසේ තදවීම් ද ඇතිවිය හැකිය. එසේම මේ හුස්ම රැල්ල අනුව සිහිය පැවැත්වීමේදී වායුව ඇතුළුවන විට ඇතුළු වනවා ඇතුළු වෙනවා ආදී වශයෙන් ඇතුළුවී අවසන් වන තුරුම ද පිටවන විට පිටවනවා පිටවනවා යැයි පිටවී අවසන් වන තුරුද මෙනෙහි කිරීම කළ යුතුය. මෙහිදී සමහර යෝගීනට හුස්ම රැල්ලේ මුල කොටසද අයකුට මැද කොටසද සමහරෙකුට අග කොටසද හොඳින් ප්‍රකටව දැනෙන්නේය. කෙසේ වෙතත් මෙකී තුන් ස්ථානයම මනාව පුරුදු පුහුණු නොකර ඉදිරියට යා නොහැකි බව දත යුතුය. මෙසේ කර්මස්ථානයට සිත යොමු කරන යෝගියාගේ සිතට මහත් සොම්නසක් සමගම හුස්ම සංසිඳීයන්නාක් මෙන් දැනෙන්නට වෙයි. කයෙහි යම් ;වහෙසක් තිබුණි නම් ඒ සියල්ල සන්සිඳී ගොස් ශාන්ත සුවයක් දැනෙන්නට වෙයි. පසුව සම්පූර්ණ වශයෙන්ම හුස්ම රැල්ල නොදැනී ගියේ යැයි යෝගියාට දැනෙනු ඇත. මේ ආනාපාන සතියේ ස්වභාවයයි. සමහර යෝගීන්ට තමාගේ හුස්ම නැවතිනිදැයි මේ අවස්ථාවේදී බියක් ඇති වෙයි. බිය නොවී සිහියෙන් සිටිනු මැන. විනාඩි 1 හෝ 2 ක් වැනි ස්වල්ප කාලයකින් නැවත හුස්ම රැල්ල ප්‍රකට වීම ආරම්භ වෙයි. මින්පසු ආනාපාන සතියේ නිමිති පහළවීම ආරම්භ වෙයි. මෙහිදි නිමිත්ත ලෙස තමාට ප්‍රකට වන්නේ ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ලම බව දත යුතුය. සමහර යෝගීනට තමා වලාකුළක් බඳු ස්ථානයක හැපෙන ලෙසද පුළුන් ගොඩක හැපෙන ලෙසද මෙම නිමිත්ත දැනීමට ඉඩ ඇත. අයකුට මෙම නිමිත්ත ප්‍රකට වන්නේ සූර්යයා හෝ චන්ද්‍රයා තමා ඉදිරියේ පවතින්නා සේය. මෙම අවස්ථාවේ භාවනා වේ අත්දැකීම් ඇති ගුරුවරයකුගේ උපදේශ ලබා ගැනීම ඉතා වැදගත්ය. යෝගියා භාවනාවේ හසල අත්දැකීම් සහිත අයෙකු නම් පහසුවෙන් මෙම නිමිත්ත තෝරා ගත හැකි වන්නේය. මෙය ආනාපාන සතියේ උද්ග්‍රහ නිමිත්ත පහළ වීම යැයි යෝගියා තේරුම් ගත යුතුය. ඉහතින් දක්වන ලද පරිදි මෙම නිමිත්ත නම් තම හුස්ම රැල්ලම බව දත යුතුය. මෙසේ නිමිත්තට සිත යොමුකරන යෝගියාට මෙම උද්ග්‍රහ නිමිත්ත තුළින්ම ප්‍රතිභාග නිමිත්ත පහළ වන්නේය. එය මෙම උග්ග්‍රහ නිමිත්ත තුළින්ම පැනනගින නිමිත්තකි. උදාහරණයකට කියතහොත් පොහෝ දින අකාශයෙහි පායා ඇති චන්ද්‍රයා වළාගැබකින් ආවරණය වී ඇති විට කිසියම් ආලෝකයක් ආකාසේ ඇත. එහෙත් හදිසියේම ආවරණය වී පැවැති වලා ගැබ විවර කරගෙන චන්ද්‍රයා ආකාශයෙහි ප්‍රකට වූවා සේ මෙකී උද්ග්‍රහ නිමිත්ත තුළින් ඊට වඩා සිය දහස් ගුණයකින් යුත් ප්‍රභාස්වර ගතියක් ඇති කරමින් මෙම ප්‍රතිභාග නිමිත්ත ප්‍රකට වන්නේය. මෙහිදී පහළ වූ නිමිත්ත වර්ණ වශයෙන් ආලෝක වශයෙන් මෙනෙහි නොකළ යුතුය. නිමිත්තටම සිත යොමු කළ යුතුය.
මෙහිදී ආශ්වාසයට යොමු වූ සිත එකක්, ප්‍රාශ්වාසයට යොමු වූ සිත අනෙකක් හා නිමිත්තට යොමු වූ සිත අනෙකක් යැයි යෝගියාට ප්‍රකට විය යුතුය. මෙම අවස්ථාව ඔබගේ ජීවිතයේ මීට පෙර අත් නොවිඳින ලද වටිනා මොහොතකි. ඒ තුළින් තමාට දැනෙන සුවය වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි තරම්ය. සිතේ තිබූ කාමච්ඡන්දාදි නීවරණයෝ දැන් සිඳී ගොස්ය. මීළඟට ඔබේ කර්මස්ථානය අර්පණාවට (ප්‍රථම ධ්‍යානයට) යොමු කිරීමට නම් භාවනාවට අසප්පාය කරුණු වන (භාවනාවට ඇති පළිබෝධ) දෙතිස් කථා වල නිරත වීම, ස්ත්‍රී පුරුෂ දර්ශනය, පිරිස් සහිත ස්ථාන වල වාස ආදිය අනිවාර්යයෙන්ම දුරු කළ යුතුය. මෙම කරුණු දුරු නොකළේ ද අර්පණාව (ධ්‍යාන) ඉපදවීමට නොහැකි වනු ඇත.
ඉහත කී ආකාරයට ප්‍රකට වූ ප්‍රතිභාග නිමිත්ත සක්විති දරු ගැබක් සුරකින රාජ බිසවක මෙන් යෝගියා විසින් සුරැකිය යුතුය. මීළඟට ඔබ කළ යුත්තේ පහළ වූ ප්‍රතිභාග නිමිත්ත තමාට හොඳින් කීකරු කර ගැනීමය. එනම් නිමිත්තේ යම් ආකාරයේ නිශ්චල භාවයක් නොමැති යැයි ඔබට හැඟේ නම් එය නිශ්චල වනවා යැයි සිතින් අධිෂ්ඨාන කළ යුතුය. එවිට නිමිත්ත නිශ්චල වෙයි. අනතුරුව නිමිත්ත දෙසටම සිත යොමු කරන්න. ප්‍රතිභාග නිමිත්ත ඉදිරියට හා පසුපසට රැගෙන යෑමට හොඳ පුරුද්දක් ඇති කරගන්න. එය අධිෂ්ඨාන කිරීමෙන්ම හුරු කරගත යුතුය.
මෙසේ තමාගේ සිතට අවශ්‍ය ආකාරයට කීකරු වූ නිමිත්ත අවසානයේ තමා ඉදිරියට නිරායාසයෙන් පැමිණෙන්නේ යැයි දර්ශනය වන්නේය. මෙහිදි නිමිත්ත තුළින් සිත ඉවතට නොගැනීමට වග බලා ගත යුතුය. අනතුරුව ඉදිරියට පැමිණි නිමිත්ත තුළ තමා කිඳා බැස්සා සේ මීට පෙර නොලද අත්දැකීමක් ඔබට දැනෙනු ඇත. දැන් ඔබේ සිත හා මෙම ප්‍රතිභාග නිමිත්ත යන මෙම ධර්ම දෙක, දෙකක් නොව එකක් ම බව ඔබට වැටහෙනු ඇත. මෙය ආනාපාන සති භාවනාවේ රූපාවචර ප්‍රථම ධ්‍යානයට ඔබ පිවිසුණු අවස්ථාව ලෙස දත යුතුය.
මෙම අවස්ථාවේදී ඔබට දැනෙන සුවය වචනයෙන් කියා නිම කළ නොහැකිය. ඔබ මෙතෙක් කාලයක් කාම ලෝකයේ සිට කාමයන්ට මුල්තැන දෙමින් වාසය කළ අයකු නම් ඒ කාමයන්ගේ ඇති අතිරේක බව (නිරර්ථක බව) මෙම අවස්ථාවේදී මනාව ඔබට වැටහෙනු ඇත.

Tuesday, 8 May 2012

නිවන් මඟට සමාධි භාවනාව


නිවන් මඟට සමාධි භාවනාව

නිර්වාණාවබෝධය සඳහා
සමාධි භාවනාවේ අවශ්‍යතාව
නිර්වාණාවබෝධය සඳහා මහා ප්‍රඥාව ඇති කර ගත යුතුය. සම්මා Cඳාණ යනුවෙන් ද එය හඳුන්වනු ලබයි. ප්‍රාර්ථනා කිරීමෙන්වත් ආයාචනා කිරීමෙන්වත් එය ලබා ගත නොහැක. මහා ප්‍රඥව ලබා ගැනීමේ ක්‍රමයක්‌ හා විධියක්‌ ඇත.

"පCඳ්C¹කාමේන ගහපති අරියසාවකේන පCඳ්C¹ සංවත්තනිකා පටිපදා පටිප-ජිතබ්බා"

ප්‍රඥව කැමැති ආර්ය ශ්‍රාවකයා ප්‍රඥව ගෙන දෙන ප්‍රතිපදාවෙහි හැසිරිය යුතු බව මෙයින් ප්‍රකාශිතයි. කුමක්‌ද එම ප්‍රතිපදාව.

"චත්තාරෝමේ භික්‌ඛවේ ධම්මා භාවිතා බහුලීකතා මහා පCඳ්Cඳකාය සංවත්තන්ති. කතමේ චත්තාරෝ සප්පුරිස සංසේවෝ සද්ධම්ම සවනං යෝනිසෝමනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති. ඉමේ ඛෝ භික්‌ඛවේ ධම්මා භාවිතා බහුලීකතා මහා පCඳ්C¹ය සංවත්තන්තී."

සං. නි. සෝතාපත්ති සංයුක්‌තයෙහි මහා පCඳ්Cඳ සූත්‍රය සප්පූරිස සේවනය, ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපත්තිය යන මේ අංග සතර නිතර වඩනවා නම් භාවිත කරනවා නම් මහා ප්‍රඥව ලැබෙන බව එහි තේරුමයි. සප්පූරිස භූමිය සම්මත්තනියාය කුසල මාර්ගය යන නම්වලින් ද හඳුන්වනු ලබන මෙම අවස්‌ථාව සෝවාන් මාර්ග අවස්‌ථාවයි. සද්ධානුසාරී ධම්මානුසාරී යනුවෙන් සෝවාන් මාර්ගස්‌ථයන් දෙදෙනෙක්‌ ඇත. මේ දෙදෙනාම ශාන්ත වූ ප්‍රනීත වූ අරූපාවචර සමාපත්ති සුවයක්‌ ලබා නැත. ප්‍රඥාවෙන් දෑත කෙලෙස්‌ සිඳ දැමීමක්‌ ද කර නැත. එනමුත් අවශ්‍ය කරන ප්‍රමාණයට පCඳ්ච ඉන්ද්‍රිය ධර්මයන් ලබා ඇති බව මෙසේ ප්‍රකාශ වෙයි.

...............අපිචස්‌ස ඉමේ ධම්මා හොන්ති සෙයHථිදං සද්ධින්ද්‍රියං විරියින්ද්‍රියං සතින්ද්‍රියං සමාධින්ද්‍ර§යං පCඳ්Cඳන්ද්‍රියං අයං වූච්චති භික්‌ඛවෙ පුග්ගලෝ සද්ධානුසාරී.

කීටාගිරි සූත්‍රය

මෙයින් පැහැදිලි වන්නේ මහා ප්‍රඥව ලබා ගැනීම සඳහා වැඩිය යුතු මුල් පියවරෙහි හෙවත් සෝවාන් මාර්ගස්‌ථ අවස්‌ථාවේදීම සමාධිය අවශ්‍ය බවයි.

සම්මා දිට්‌ඨ§ස්‌ස සම්මා සංකප්පෝ පහෝති.......... සම්මා සමාධිස්‌ස සම්මාC¹ණං පහෝති..........

අංගුත්තර නිකායෙහි දසක නිපාතයෙහි සඳහන් වන මෙම බුදු වදනින් පැහැදිලි වන්නේ සම්මා සමාධිය ඇත්තා වූ අයටම නිර්වාණාවබෝධය අවශ්‍ය වන මහා ප්‍රඥව ලැබෙන බවයි. සීල සමාධි පCඳ්Cඳා යන ත්‍රිශික්‍ෂාවෙන් ප්‍රකාශ වන්නේ ද සීලය සමාධිය සඳහාත්, සමාධිය ප්‍රඥාව සඳහාත්, ප්‍රඥාව නිවීම සඳහාත් අත්‍යවශ්‍ය වන බවයි. සත්වයාගේ දැවීම ආරම්භ වන්නේ අවිද්‍යාවෙන් ලෝ තතු වැසී යැම නිසා ය. ලෝකය පිළිබඳව ඇත්ත නම් අනිත්‍යතාවයයි. වෙනස්‌ වන සුලු බව හෙවත් වේගය යනු ද මෙයයි. මෙය මස්‌ ඇසට නොපෙනෙයි. එය හසුවන්නේ ප්‍රඥාවටම ය.

"සබ්බේ සංඛාරා අනිච්චාති" යදාd පCඳ්C¹ය පස්‌සති" යනුවෙන් සඳහන් වන්නේ එයයි. ලෝකය පිළිබඳව නිර්වින්දනයක්‌ ඇති වන්නේ එවිටය. නිර්වින්දනය යනු ඇලීමෙන් ගැටීමෙන් තොර බවයි. වේදනාව සම්බන්ධව පවත්නා කැමැති අකමැති බව අවිද්‍යාවෙන් නිත්‍යයි කියා දකිනවාත් සමඟම වින්දනයට හෙවත් තණ්‌හාවට යයි. දුකට හේතුව තණ්‌හාවයි. දුක නිවා දැමීමට නම් සම්මා Cඳාණය ඇතිකර ගත යුතු ය. ඒ සඳහා යා යුතු මඟ අරිඅටඟි මගයි. සම්මා දිට්‌ඨ§යෙන් ආරම්භ වන එම උත්තම මඟ අවසන් වන්නේ සම්මා සමාධියෙන්මය. එම නිසා සම්මා සමාධියෙන් තොර දුක්‌ඛ නිරෝධයක්‌ ගැන කථා කළ නොහැක. "සමාධිJද්‍රියං භික්‌ඛවෙ බෝධිපක්‌ යා ධම්මා තං බෝධාය සංවත්තති" සමාධීJද්‍රිය යනු බෝධිය හෙවත් මහා ප්‍රඥාව ඇති කර දෙන ප්‍රබලතම ධර්මයකි. සමාධියෙන් තොරව කුසල් දහම් වසාගෙන ඇති පංච නීවරණ ධර්ම යටපත් කිරීමක්‌ ද කළ නොහැක. කුසල් දහම් වැසී ඇතිතාක්‌ ඒවා වඩවා ගැනීමක්‌ ද කළ නොහැක. කුසල් වඩවා නොගෙන නිර්වාණාවබෝධය කළ නොහැක. මෙතැන් සිට සමාධිය යනු කුමක්‌ද කියා පහදා දෙමි. ඒ තුළින් ද නිවීම සඳහා සමාධියේ අවශ්‍යතාව තවදුරටත් පැහැදිලි වනු ඇත.

සමාධිය යනු චිත්ත ශක්‌තියයි. විසිරී ගිය තැනක ශක්‌තියක්‌ නැත. එසේ නම් ශක්‌තියක්‌ ඇති වන්නේ එකඟ බව තුළින්මය. සමථය යනු එකඟ බවට තවත් නමකි. ගෙදරත් ගමත් රටත් එකඟ බවින් හෙවත් සමගියෙන් තොර නම් එතැන බලයක්‌ ශක්‌තියක්‌ නැත. සමගිය බලය වේ යනු සත්‍යයකි. එම නිසා චිත්ත ශක්‌තිය ඇතිකර ගැනීමට විසිර පවත්නා වූ සිත එක අරමුණක රඳවා ගත යුතුය. එය සමථයයි. එහි බොහෝ වේලාවක්‌ පවත්වා ගැනීම සමථ භාවනාවයි. ඒ තුළින් ඇතිවන ශක්‌තිමත් සිත සමාධි සිතයි. මෙම සමාධිය මිථ්‍යා සමාධි සම්මා සමාධි යනුවෙන් කොටස්‌ දෙකකට බෙදිය හැක. රාග, දෝස හෙවත් ඇලීම ගැටීම සහිත අරමුණක රඳවා ගැනීමෙන් ශක්‌තිමත් කරගත් සිත මිථ්‍යා සමාධියයි. එම සම්මා සමාධිය ද ලෞකික ලෝකෝත්තර යයි ද්විධ වෙයි. ඇලීමෙන් ගැටීමෙන් තොර අරමුණක්‌ ගෙන ලෞකික සම්පත් අපේක්‍ෂාවෙන් ඇති කර ගන්නා වූ සමාධිය ලෞකික සම්මා සමාධියයි. ලෝකය අතහැරීමේ අපේක්‍ෂාවෙන් යුක්‌තව උපේක්‍ෂක අරමුණක්‌ ගෙන බොහෝ වේලාවක්‌ එහි සිත රඳවා ගෙන ඇති කර ගන්නා වූ සමාධිය ලෝකෝත්තර සම්මා සමාධියයි. විදර්ශනයට සිත එකඟ කරගෙන බොහෝ වේලාවක්‌ එය තුළම රැඳී සිටීමෙන් ද සමාධිගත විය හැක. එය විදර්ශන සම්මා සමාධියයි. එමගින් ධ්‍යානගත වීමට පුළුවන්කමක්‌ නැත. අවශ්‍ය ද නැත. හේතුව එයින් ලැබෙන සමාධිය සියලු ලෞකික සමාධිවලට වඩා උත්තම සමාධියකි. එම උත්තම සමාධීන් සූCඳ්Cඳත අප්පණීහිත අනිමිත්ත යන නම්වලින් හඳුන්වනු ලබයි. එම සමාධීන්ට සමවැදිය හැකකේ මාර්ගඵලලාභීන්ට පමණි. සෝවාන් මාර්ගස්‌ථයින්ටවත් එම විදර්ශනා සමාධියට පත්විය නොහැක. පුහුදුනන් ගැන කවර කථා ද? සෑම මාර්ග Cඳාණයක්‌ ම ලබන්නේ අනිමිත්ත සමාධිය තුළිනි. එහිදී සියලු ලෝක සCඳ්Cඳා ඉවත් වී යනු ඇත.

සමාධිය යනු කුමක්‌ද?

සමාධිය හා ධ්‍යාන අතර ඇති වෙනස කුමක්‌ දැයි මෙතැන් සිට විමසා බලමු. සූත්‍ර පිටකයට අනුව ධ්‍යාන ඇත්තේ හතරකි. අභිධර්ම පිටකයෙහි දී පළමුවැනි ධ්‍යානය දෙකට බෙදාගෙන විතක්‌කයෙන් තොර විචාරයක්‌ පෙන්වමින් ධ්‍යාන පහක්‌ ඉදිරිපත් කර ඇත. සූත්‍ර පිටකයට අනුව උසස්‌ම ධ්‍යාන තලය සතරවැනි ධ්‍යානයයි. එතනින් ඉහළට ඇත්තේ සමාපත්ති මිස ධ්‍යාන නොවෙයි. සිත ඒකාග්‍ර කර ගැනීමෙන් කරගත හැක්‌කේ සමාධිගත කරගෙන ශක්‌තිමත් කර ගැනීමක්‌ පමණි. එසේ කරගත් පමණින් එම සමාධිය සම්මා නොවෙයි. කොපමණ ශක්‌තිමත් වුවත් අන්තගාමී සිතකින් නිවැරැදි තීරණයක්‌ දිය නොහැක. සත්‍යය අවබෝධ කරගත නොහැක. එම නිසා බුදුපියාණෝ උපේක්‍ෂාවම ම ඒකාග්‍ර කොට ඇති චතුර්ථ ධ්‍යානයම සම්මා සමාධි යන නමින් අනුදැන වදාළහ. චතුර්ථ ධ්‍යානයට සමවැදිය හැක්‌කේ කිසියම් උපේක්‍ෂක අරමුණකට සිත ඒකාග්‍ර කරගෙන ප්‍රථම ධ්‍යානාදී අනුපිළිවෙළින්ම ය.

ධ්‍යාන ශක්‌තිය ඉතා දියුණු තත්ත්වයක පවතින අයට අනුපිළිවෙළින් තොරව එක්‌ ක්‍ෂණයකින් ම සතර වන ධ්‍යානයට සමවැදිය හැක. මා මෙහිදී ප්‍රකාශ කිරීමට යත්න දරන්නේ විදර්ශනා භාවනාවෙන් ධ්‍යානවලින් සමවැදිය නොහැකි බවත් ධ්‍යානවලට සමවැදිය හැක්‌කේ සමථ භාවනාවෙන් ම පමණක්‌ බවත් පෙන්වා දීමටය. එයට හේතුව අද සමහරු සමථය බමුණන්ට අයිති දෙයක්‌ බවත්, එනිසා එය බුද්ධානුගමනය නොලබන බවත් එයින් රූපරාග, අරූපරාගාදිය ඇතිවන බවත්, පවසමින් සමථය ප්‍රතික්‍ෂේප කරති. නමුත් පCඳ්ච අභිඥා අෂ්ට සමාපත්ති ලැබීම සඳහා චතුර්ථ ධ්‍යානය පදනම් කරගත යුතු බව ඔවුහු පිළිගනිති. නමුත් සූත්‍ර ගණනාවකම සීල සමාධි පCඳ්Cඳා යන ත්‍රිශික්‍ෂාවෙහි සම්මා සමාධිය වශයෙන් පෙන්වා ඇත්තේ චතුර්ථ ධ්‍යානයයි. ඒකායන නිවන් මඟ වන්නා වූ සතිපට්‌ඨාන සූත්‍රයෙහි දි.

"කතමො ච භික්‌ඛවෙ සම්මා සමාධි............... සුඛස්‌ස ච පහාණා දුක්‌ඛස්‌ස ච පහාණා පුබ්බේව සෝමනස්‌ස දෝමනස්‌සානං අත්ථගමා අදුක්‌ඛං අසුඛං උපෙක්‌ඛා සති පාරිසුද්ධං චතුත්ථජCධානං උපසම්ප-ජ විහරති අයං වුච්චති භික්‌ඛවෙ සම්මා සමාධි."

සම්මා සමාධිය වශයෙන් බුදුහු අනුදැන වදාරා ඇත්තේ චතුර්ථ ධ්‍යානයම බව ඉහත එන බුදු වදනෙන් මනාව පැහැදිලි වෙයි.

ලෝකය අත්හැරීම

සම්මා සමාධියෙන් තොරව නිර්වාණාවබෝධය කළ නොහැකි බව බුද්ධ දේශිත සූත්‍රානුසාරයෙන් පෙන්වා දුනිමි. එසේම සත්‍යය අවබෝධය සඳහා සම්මා දිට්‌ඨ§ය ඇති කර ගැනීමට පෙර දී ද අත්‍යවශ්‍ය වන ත්‍රිශික්‍ෂාවෙහි සඳහන් සම්මා සමාධිය චතුර්ථධ්‍යානයම බවත් එය විදර්ශනා භාවනාවෙන් ලබාගත නොහැකි බවත් සමථ භාවනාවෙන් ම චතුර්ථ ධ්‍යානය ලබා ගත යුතු බවත් සහේතුකව පෙන්වා දුනිමි. සමථ පූර්වාංගම විදර්ශනය මිස විදර්ශනා පූර්වාංගම සමථයක්‌ පිළිබඳව කථා නොකළ හැකි බව මෙයින් පැහැදිලි විය යුතුය. සමථයෙන් හෙවත් චිත්ත ඒකාග්‍රතාවයෙන් තොරව වෙනත් ක්‍රමයකට කියනවා නම්, විසිරී ගියා වූද, ඇලීමෙන් ගැටීමෙන් යුක්‌ත වූ දුර්වල සිතකින් විදර්ශනය ලබාගත හැක. සමථය හෙවත් සිත ශක්‌තිමත් කර ගත යුත්තේ ඉන් පසුවය කියා යමෙක්‌ කියත් නම් එය කියන අයට වඩා එය පිළිගන්නා ඇත්තෝ මෝඩයෝ වෙති.

මෙතැන් සිට සාමාන්‍ය මට්‌ටමින් සම්මා සමාධියෙන් හෙවත් ශක්‌තිමත් මැදහත් සිතකින් තොරව නිර්වාණාවබෝධය කළ හැකි දැයි විමසා බලමු. ලෝකය අතහැරීමෙන් තොරව නිවනක්‌ ගැන කවර කථා ද? ලෝකය අතහැරීමට නම් ලොවෙහි යථාර්ථය දැකිය යුතුය. බුද්ධානුගමනයට අනුව ලෝකය යනු කයයි සිතයි දෙකෙහි එකතුවයි. කය වනාහි ධාතුමය රූපයක්‌ පමණි. ලොවෙහි ක්‍රියාකාරීත්වය ඇත්තේ සිත තුළයි. ලොව සම්බන්ධව බලන විට සිත ප්‍රධානත්වය දැරුවත් පළමුව අරමුණු වන්නේත් ඇලීම, ගැටීම හෙවත් තණ්‌හාව මුලින්ම ඇති වන්නේත් කය සම්බන්ධවයි. එනිසා පළමුව අවබෝධ කරගත යුත්තේ කය පිළිබඳවයි. ඒ සඳහා මුලින්ම පිළිකුල් භාවනාව කළ යුතුය. මල්ලක්‌ ලෙහා බලන්නාක්‌ සේ කය තුළ පවත්නා දෙතිස්‌ කුණපය එළියට දමා සිතින් එදෙස බැලිය යුතුය. මෙම අසූචි ගොඩ ඇද දමා බලන විට සිත උපේක්‍ෂකව නොතිබුණහොත් ඇතිවන්නේ ගැටීම හෙවත් පටිඝයයි. පටිඝය යනු අකුසලයකි. අකුසල් වඩා නිර්වාණාවබෝධය කරගත නොහැකි බව පැහැදිලිය. එසේම ඇලීමෙන් යුක්‌ත වූ සිතකින් මෙත් වඩන්නේ කෙසේද? එහිදී සිදුවන්නේ රාගය මිස මෛත්‍රිය නොවෙයි. රාගය නමැති ගින්න ඇති වූ විට නිවෙන්නේ කෙසේද? මෙ නයින් සලකා බලන විට සම්මා සමාධියෙන් තොරව නිර්වාණාවබෝධය කළ නොහැකි බවත් ඒ සඳහා සම්මා සමාධිය අත්‍යවශ්‍ය බවත් කිව යුතුය.

සෝවාන් මාර්ගස්‌ථ පුද්ගලයා ද සෝවාන් ඵලයට පත්වීම සඳහා සීල සමාධි පCඳ්Cඳා වැඩිය යුතුය. එසේ නම් සෝවාන් මාර්ගස්‌ථයා විසින් වැඩිය යුතු සමාධිය කුමක්‌ද? සමථ භාවනාව තුළින් ඇතිකර ගත් ප්‍රථම ධ්‍යානාදී අනුපිළිවෙළින් චතුර්ථ ධ්‍යානයට සමවැදීමයි. මා මේ පිළිබඳව තදින්ම පාඨක අවධානය යොමු කරවීමට හේතුව අද සමාජයෙහි භාවනා කමටහන් දෙන්නා වූ බොහෝ දෙනෙක්‌ ධ්‍යාන වැඩීම බමුණන්ගේ වැඩකි. බමුණන්ගේ සමථයෙන් අපට වැඩක්‌ නැත. එයින් සිදුවන්නේ එම ධ්‍යාන තලයන්ට ඇලීමකි. එම නිසා කෙළින්ම විදර්ශනා සමාධිය ඇතිකර ගත යුතු යයි කියති. මම ඒ අයගෙන් මෙසේ අසමි. සක්‌කාය දිට්‌ඨ§ය හෙවත් ආත්ම දිට්‌ඨ§යෙහි ගොරෝසු බව ඇති අයට සත්‍යය විනිවිද දැකිය හැකිද? එසේ නම් ඒ අයට විදර්ශනයක්‌ තිබේ ද?. නැති විදර්ශනයක්‌ අරමුණු කරගෙන සමාධියට යන්නේ කෙසේද? තවම සම්මා දිට්‌ඨ§ය හෙවත් විදර්ශනය ඇතිකර ගෙන නැති සෝවාන් මාර්ගස්‌ථයාටවත් විදර්ශනා සමධීන්ට සමවැදිය හැකිද? පුහුදුනන් ගැන කවර කථා ද? සීල සමාධි පCඳ්C¹ යන ත්‍රිශික්‍ෂාව වඩන්නේ නැතිව මාර්ග ඵල ලැබිය හැකි ද? බමුණන්ගෙන් තබා කාගෙන් වුවත් අපට අවශ්‍ය කරන හොඳ දෙයක්‌ ලබා ගැනීමේ ඇති වරද කුමක්‌ද? මේ ගැන තවදුරටත් සිතා බැලීමට බුද්ධිමතුන්ට ඉඩ තබා සම්මා සමාධිය තවදුරටත් විස්‌තර කරමින් ඉදිරියටම යමි.

නොමඟ යැම

ඇලීමෙන්, ගැටීමෙන් තොර වූ ශක්‌තිමත් කරගත් බලවත් සිත සම්මා සමාධියයි. මෙහිදී සිදු වී ඇත්තේ ඇලීම ගැටීම යටපත් කිරීම පමණකි. සහමුලින් නැති කිරීමක්‌ නොවන බව ද මතක තබා ගත යුතුය. ඇලීම ගැටීම සහමුලින් ම නැති වන්නේ රූප රාග, අරූප රාග ද නැති කොට මහ රහත් ඵලය ලබන විටයි. සිත ශක්‌තිමත් කරගැනීම සඳහා බොහෝ වේලාවක්‌ එක අරමුණක සිත රඳවා ගත යුතුය. එම අරමුණ උපේක්‍ෂක අරමුණක්‌ ම විය යුතුය. එයට හේතුව අන්තගාමී සිතක්‌ කොපමණ ශක්‌තිමත් වුවත් එම සිතින් නිවැරැදි තීරණයක්‌ ගත නොහැක. එදා බමුණු සමාජයෙහි පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී නොයෙක්‌ ක්‍රමවලින් කසින මණ්‌ඩල සාදාගෙන ධ්‍යානගත වී නොයෙක්‌ ප්‍රාතිහාර්ය පාමින් අසරණ ජනතාව නොමඟට පවා යොමු කරවීය. එනිසාම බුදුහු සිය සව්වනට ඒවා නොකරන ලෙස අවවාද කළහ. නමුත් සිත ශක්‌තිමත් කරගෙන උපේක්‍ෂා කර ගන්නා තුරු සත්‍යය දැකිය නොහැකි නිසා ඒ සඳහා පමණක්‌ ධ්‍යානගත වී සම්මා සමාධිය ඇතිකර ගත යුතු බව අනුදැන වදාළහ. සමාධියෙන් තොරව සත්‍යය අවබෝධ කරගත හැකි නම් සම්පූර්ණයෙන් ම ධ්‍යානගත වීම බුදුහු තහනම් කරනු ඇත. නමුත් එසේ කර නැති බැවින් පැහැදිලි වන්නේ සම්මා සමාධියෙන් තොරව හෙවත් චතුර්ථ ධ්‍යානයට සමවැදී සිත සමාධිගත කර ගැනීමෙන් තොරව නිර්වාණාවබෝධය කළ නොහැකි බවයි. බුදුපියාණෝ අනුමත කළ සමථ භාවනා ක්‍රමය ආනාපාන සති භාවනාවයි. ආන අප ආන සති භාවනා හුස්‌ම ඇතුළුවීමට සහ පිටවීමට සිහිය පිහිටුවාගෙන බොහෝ වේලාවක්‌ එහිම රැඳී සිටීම ආනාපාන සති භාවනාවයි. සීලය හා සමාධිය ප්‍රඥ සංවර්තනික ප්‍රතිපදාවේ පූර්ව කෘත්‍යයි. පූර්ව කෘත්‍යය යනු යමක්‌ කිරීමට පෙර එයට සූදානම් වීමයි. සූදානමකින් තොරව කිසිවක්‌ සාර්ථකව කරගත නොහැක. සීලය සමාධියෙහි පූර්ව කෘත්‍යයි. සීලය හා සමාධිය ප්‍රඥාව ලබා ගැනීමෙහි පූර්ව කෘත්‍ය යි. ප්‍රඥාව ලබා ගැනීම ආමිස පූජාවක්‌ නොව ප්‍රතිපත්ති පූජාවයි. ප්‍රතිපත්ති පූජාවේ පූර්ව කෘත්‍යය ආමිස පූජාවක්‌ විය නොහැක. ප්‍රතිපත්ති පූජාවක්‌ම විය යුතුයි. සීලය සහ සමාධිය ප්‍රතිපත්ති පූජාවයි. මේ ටික තේරුම් ගැනීමට අසමත් සමහරු කමටහන් වැඩීමට පෙර මල්, පහන්, සුවඳ දුම් පුදමින් බුදුගුණ අනන්තයි, බුදුගුණ අනන්තයි කියමින් හඬමින් සහ අනුන් හඬවමින් බුදුගුණයන්ට දිව පුදමින් නිවන් ලැබේවා ලැබේවා යි ප්‍රාර්ථනා කරති. ඔවුන්ගේ පූර්ව කෘත්‍යය එයයි.

උත්තම සමාධිය

සෑම මාර්ග Cඳාණයක්‌ම ලැබෙන්නේ අනිමිත්ත සමාධිය තුළින් බවත්, ප්‍රාර්ථනාවකින් වැසී ගිය කල්හි අනිමිත්ත සමාධියට යාගත නොහැකි බවත් නොදන්නා ඔවුහු මාර්ග ඵල නොලබති. මහා ප්‍රඥාව කෙනකුගෙන් ඉල්ලා ගැනීමෙන්වත්, ප්‍රාර්ථනා කිරීමෙන් වත් ලැබිය නොහැකි බව වදාරමින් ඒ සඳහා සීල, සමාධි, පCඳ්C¹ යන ත්‍රිශික්‍ෂාවම වැඩිය යුතු බව වදාළේ එහෙයිනි. සීලය සමාධිය සඳහා ය. සමාධිය ප්‍රඥාව සඳහා ය. ප්‍රඥාව නිවීම සඳහා ය. එම නිසා චතුර්ථ ධ්‍යානයට සමවැදී සම්මා සමාධිය ඇතිකර ගන්නා තුරු රහත් ඵලය තබා සෝවාන් ඵලයවත් ලබාගත නොහැකි බව නොකියා නොහැක්‌කේමය.

එම නිසා පළමුව සීලයක පිහිටා පාරමිතා සීලයෙහි පිහිටා වනාන්තරයකට හෝ ගසක්‌ මුලකට එසේත් නැතිනම් පිරිසිදු වාතාශ්‍රය ඇති හිස්‌ බිමකට යා යුතුයි. පිරිසිදු වාතය සුගඳ, දුගඳ දෙකින්ම තොර වූවක්‌ම විය යුතුය. එහි ගොස්‌ වාඩි වී කය සෘජුව තබාගෙන පරිමුඛයට සිහිය පිහිටුවාගෙන එක වතාවක්‌ පමණක්‌ හුස්‌ම ගැනීම හා හෙළීම කළ යුතුයි. ඉන් පසු එය තමා විසින් කරන දෙයක්‌ නොව, එය කයෙහි ස්‌වභාව සිද්ධියක්‌ පමණක්‌ බව දැනගෙන සිතින් එදෙස බලා සිටිය යුතුයි. හුස්‌ම දිග නම් දිග බව දැනගත යුතුයි. කෙටි නම් කෙටි බව දැන ගත යුතුයි. සංසිsඳිල නම් ඒ බව ද දැන ගත යුතුයි. හුස්‌ම අරමුණු කරගෙන ගැනීම විතක්‌කයයි. එය විමසීම විචාරයයි. සාර්ථකව යමක්‌ විචාරයට ලක්‌කර ගැනීමට නම් එයටම සිත ඒකාග්‍ර කර ගත යුතුයි. ඒකග්ගතා යනු එයයි. එක අරමුණකම බොහෝ වේලාවක්‌ සිත රඳවාගෙන සිටීමෙන් ප්‍රීතියක්‌ හා සැපයක්‌ ලැබෙයි. යම් විටක මෙම ලක්‍ෂණ පහ තමාගේ සිතෙහි විද්‍යමාන වන්නේ නම් එය පළමුවන ධ්‍යානය බව දැනගත යුතුය. එය දෙවන ධ්‍යානය, තෙවන ධ්‍යානය හෝ සතරවන ධ්‍යානය වීමට පුළුවන්කමක්‌ නැත. ධ්‍යානගත නොවූ සිතක්‌ වීමට ද පුළුවන්කමක්‌ නැත. එය පළමුවැනි ධ්‍යානයම විය යුතුයි. මෙම අංග ලක්‍ෂණ පහම තිබේදැයි සෙවීමට ද අවශ්‍ය නැත. මෙයින් විචාරය ඇතිනම් අනිත් අංග සියල්ලම ඇත. විතක්‌කයෙන් තොරව විචාරයක්‌ තිබිය නොහැක. විචාරය හොඳින් තිබේ නම් ඒකාග්‍රතාවය තිබිය යුතුමය. ඒකාග්‍රතාවය තිබේ නම් ප්‍රීතිය හා සැපය තිබිය යුතුය. එම නිසා හුස්‌මටම සිත යොමු වී ඇති නම් එය පළමුවන ධ්‍යානය බව දැනගන්න.

සැහැල්ලු සිත

පළමුවැනි ධ්‍යානයට සමවැදීම එක පාරටම කළ නොහැක. එයට ක්‍රමයක්‌ හා විධියක්‌ ඇත. ක්‍රමය හා විධිය දන්නා අයට ඕනෑම අමාරු වැඩක්‌ කළ හැක. ක්‍රමය විධිය නොදන්නා අයට අඩු තරමින් බුලත් විටක්‌වත් කෑමට පුළුවන්කමක්‌ නැත. මේ ගැන දත් බුදුහු ඒකායන නිවන් මාර්ගයෙහි සිත ධ්‍යානගත කර ගන්නා ක්‍රමය හා විධිය මනාකොට දේශනා කර ඇත. එය උපචාරය නමින් ද හඳුන්වනු ලබයි. එයින් ශක්‌තිමත් කර ගන්නා සිත උපචාර සමාධියයි. ධ්‍යානවලට නැංවිය යුත්තේ එම සිත යි. ධ්‍යානවලට නැංවීමට සිත ශක්‌තිමත් වීම පමණක්‌ නොසෑහෙයි. ශක්‌තිමත් සිත සැහැල්ලු කර ගත යුතුය. ඒ සඳහා කුසල් දහම් වසාගෙන බර වී ඇති සිතෙහි ඇති නීවරණ ධර්ම යටපත් කළ යතුය. ඒ සඳහා ධ්‍යානගත වීමට හැකියාව ඇති ගුරුවරයෙක්‌ සොයා ගුරු ගෞරවයෙන් යුක්‌තව සීලයක ද පිහිටා කෙළින් තබාගෙන ඇලීමෙන් ගැටීමෙන් තොර අරමුණක සිත පිහිටුවා ගත යුතුයි. එවිට පCaඳචනීවරණ යටපත් වී ශක්‌තිමත් සිත සැහැල්ලු වෙයි. ධ්‍යානවලට නංවාගත හැක්‌කේ එම සිතයි. මෙතැන් සිට එම ධ්‍යානතලයන්හි ඇති ලක්‍ෂණ හඳුනා ගනිමු.

"සවිතක්‌කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමCධානං උපසම්ප-ජ විහරති"

පළමුවැනි ධ්‍යානය විතක්‌කය විචාරය සහ එකඟ බව තුළින් හටගත් විවේකයෙන් ලැබූ ප්‍රීතියෙන් හා සැපයෙන් යුක්‌තය. විතක්‌ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා එම ලක්‍ෂණ පසයි. විතක්‌කය යනු අරමුණක්‌ ගැනීමයි. ආනාපාන සති භාවනාවේ දී ගන්නා වූ අරමුණ නම් හුස්‌මයි.

විචාරය යනු එම අරමුණ විමසීමයි. යමක්‌ පිළිබඳව සාර්ථකව විමසීමට නම් එහිම සිත රඳවා ගත යුතුයි. ඒකග්ගතා යනු එයයි. එකඟතාව නිසා විවේකයත්, විවේකයෙන් ප්‍රීතිය හා සැපයත් ඇතිවෙයි. මෙම ලක්‍ෂණ පස පළමුවැනි ධ්‍යානයෙහි විද්‍යමාන වෙයි. පළමුවැනි ධ්‍යානයට නංවා ගැනීමට පෙර මෙම ලක්‍ෂණ යාන්තමින් හෝ ඇතිකර ගත යුතුය. එම ඇතිකර ගන්නා අවස්‌ථාව උපචාරයයි. එම උපචාරය තුළින් ශක්‌තිමත් කරගත් සිත උපචාර සමාධියයි. පළමුවැනි ධ්‍යාන තලයට නංවාගත හැක්‌කේ එම සමාධි සිතයි. හුස්‌මටම සිත ඒකාග්‍රවී ඇති බව දුටු විට පළමුවැනි ධ්‍යානය කියා අදිටන් කළ විට සමාධි සිත ඉහළට නැගීම සඳහා උඩු අතට යොමු වී නතර වෙයි. එතන පළමුවැනි ධ්‍යාන තලයයි. එය බොහෝ වේලාවක්‌ පවත්වා ගැනීම සඳහා ධ්‍යානයෙහි නම සහ ගුණ සිහිකළ යුතුය. මෙසේ පළමුවැනි ධ්‍යානතලයෙහි බොහෝ වේලාවක්‌ සිටින විට චිත්ත විවේකය තුළින් හටගත් ප්‍රීතියක්‌ සහ සැපයක්‌ ඇතිවෙයි. මේ අවස්‌ථාව දුටුවිට දෙවැනි ධ්‍යානයට නැංවීමට සුදුසු හෙයින් දෙවැනි ධ්‍යානය කියා අදිටන් කළ යුතුයි. එවිට සිත නැගීගෙන යන ස්‌වභාවයක්‌ දැනී නතර වෙයි. එතැන දෙවැනි ධ්‍යාන තලයයි. එහි ද බොහෝ වේලාවක්‌ රැඳී සිටින විට ප්‍රීතිය සියුම් වී යයි. එය සැපයයි. සැපය යනු ප්‍රීතියෙහි සියුම් බවයි. එම සැපයට පත් වූ සිත දුටු කල්හි තුන්වැනි ධ්‍යානය කියා අදිටන් කළ යුතුය. එවිට නැවත විටක්‌ සමාධි සිත ඉහළට නැගී යන ස්‌වභාවයක්‌ දැනී නතර වෙයි. එතැන තුන්වැනි ධ්‍යානයයි. එහිද බොහෝ වේලාවක්‌ රැඳී සිටින විට එම සැපය ද සියුම් වී මැදහත් සිතක්‌ විද්‍යමාන වෙයි. එවිට සතර වන ධ්‍යානය කියා අදිටන් කළ විට නැවතත් සිත ඉහළට නැගී යන ස්‌වභාවයක්‌ දැනී නතර වෙයි. එතැන සතර වැනි ධ්‍යානයයි. චිත්ත ඒකාග්‍රතාව සහ ශක්‌තිමත් බව පරිපූර්ණ වී ඇත්තේ සතරවැනි ධ්‍යානයෙහි ය. එතනින් ඉහළට ධ්‍යාන නැත. එතනින් ඉහළ තලයන් හඳුන්වනු ලබන්නේ සමාපත්ති නමින් ය. අරූපාවචර අත්දැකීම් ලබා ගැනීම සඳහා අවශ්‍ය නම් එම අරූපාවචර තලයන්ට නැගගත්තාට වරදක්‌ නැත. සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා සතර වැනි ධ්‍යානයට සමවැදීම හොඳටම ප්‍රමාණවත්ය. චතුර්ථ ධ්‍යානයට සමවැදීමෙන් පමණක්‌ මහා ප්‍රඥව ඇතිකර ගත නොහැක. ධ්‍යානවලට සම වැදීම ප්‍රඥ සංවර්ථනික ප්‍රතිපදාවෙහි පූර්ව කෘත්‍යය පමණි. සූදානම් වීමක්‌ පමණි. සූදානම් වූ පමණින් සිය අභිමතාර්ථය ඉටු නොවෙයි. එය ඉටුකර ගැනීම සඳහා ප්‍රතිපදාවක යෙදිය යුතුය. සත්‍යය අවබෝධ කර ගැනීමෙහි ප්‍රතිපදාව නම් සතර සතිපට්‌ඨානය වැඩීමයි. විසුරුණු අන්තගාමී දුර්වල සිතකින් එය කළ නොහැකි බැවින් සීලයක පිහිටා සමථය වඩා ශක්‌තිමත් කරගත් සිත චතුර්ථ ධ්‍යානයට සමවැදී මැදිහත් කරගත යුතුය. එය ප්‍රඥ භාවනාවෙහි පූර්වකෘත්‍යක්‌ පමණි. සෑම මාර්ග ඥානයක්‌ම ලබන්නේ අනිමිත්ත සමාධිය තුළිනි. අනිමිත්ත සමාධිය නම් සියලු ලෝක අරමුණු ඉවත් වී සිත සමාධිගත වීමයි. සියලු ලෝක අරමුණු ඉවත් වී ලබන සමාධිය ලෝකෝත්තර සමාධියකි. ලෝකය අතහැර ලෝකෝත්තර සුවය ලද හැක්‌කේ එම උත්තම සමාධියෙන් පමණි.

සබ්බේ සත්තා භවන්තු සු තත්තා!
පූජ්‍ය පණ්‌ඩිත වතුරුගම නන්දසිරි හිමි

Sunday, 6 May 2012

මඟ ඵල ලබන පිළිවෙත



UNICODE

ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ මැදින් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ පෙබරවාරි 29 වනදා බදාදා

මඟ ඵල ලබන පිළිවෙත

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම
මහා විහාරාධිපති
ධර්මවේදී
නාලන්දේ විමලවංශ හිමි

මාර්ග ඵල ලබාගැනීම ගැන වර්තමානයේ නොයෙකුත් මතිමතාන්තර තිබෙන බව දැකිය හැකි ය. ඇතැම් ගිහි පුද්ගලයෝ ද මාර්ග ඵලවලට පත්ව සිටින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති. ගිහි පුද්ගලයන් පමණක් නොව, ඇතැම් පැවිද්දෝ ද තමන් මඟ ඵලවලට පත්ව සිටින බව ශ්‍රව්‍ය, දෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරති. ගිහි භවතුන්ට කෙසේ වෙතත් පැවිද්දන්ට මෙය බරපතළ තත්ත්වයකි.
එවැනි ලෝකෝත්තර තත්ත්වයක් ලබා ඇත්නම් ගැටලුවක් ඇති නොවේ. එහෙත් අන් අය රැවටීමේ අදහසින් තමන් වෙත නැති උත්තර මනුස්ස ධර්මය ප්‍රකාශ කිරීම ඉතා බරපතළ වරදකි. එය සතර පාරාජිකාවන්ගෙන් එකකි. පාරාජිකා වීම යනු පැවිදි උපසම්පදාව අහෝසි වීමකි. නැවත කිසි දිනක උපසම්පදාව ලබා ගැනීමට නොහැකි වෙයි. හෙතෙම කසාවතක් පෙරවූ ගිහියෙක් බවට පත් වෙයි. එපමණක් නොව ඔහුට සිව්පසය පරිභෝග කිරීමට අයිතියක් නැත. ඔහු මොහොතක් පාසා පව් සිදු කර ගන්නා අයකු බවට පත් වෙයි. ඔහු භික්‍ෂූන් වහන්සේ සමඟ සමානව විසීමට කිසිසේත්ම සුදුසු පුද්ගලයකු නොවේ.
ත්‍රිපිටකය හඳුන්වන්නේ පරියාප්ති සාසනය නමින් ය. එහි ඇත්තේ බුද්ධ වචනයයි. එම පරියාප්තිය ඇසීමෙන්, ඉගෙනීමෙන්, හැදෑරීමෙන් ලබා ගන්නා අවබෝධය ශීල, සමාධි, ප්‍රඥාවන් වැඩීමට ඉවහල් වෙයි. එම ත්‍රීශික්ෂාව වැඩීමේ ප්‍රතිඵලය වශයෙන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන මාර්ග ඵල සංඛ්‍යාත නිවන ලබා ගැනීමට හැකි වේ. වෙනත් ආකාරයකින් සඳහන් කළහොත් සතරමග, සතර ඵල, නිවන යන නව ලෝකෝත්තර ධර්මය ප්‍රත්‍යක්‍ෂ කැර ගැනීමයි. කෙසේ වෙතත් තෙරුවන් සරණ යෑමේ සිට ගෝත්‍රභු නම්, මාර්ග ඥානයට ආසන්න සිත දක්වා ගමන් කරන කිසියම් පුද්ගලයකු ඇත්නම් ඔහු සැලකිය හැකි වන්නේ ‘සෝවාන් මාර්ගස්ථ’ පුද්ගලයකු වශයෙනි. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, තෙරුවන් සරණ ගිය පුද්ගලයන් මාර්ගස්ථයන් වශයෙන් සැලකිය හැකි ය. මක් නිසාද යත් හෙතෙම සෝවාන් ආදී මාර්ගඵල පිණිස ගමන් කරන පුද්ගලයකු වන බැවින් ය.
යමකු ආර්ය තත්ත්වයට පත් වන්නේ අඩු තරමෙන් සෝවාන් මාර්ග ඥානය පහළ වීමෙන් පසුවයි. එම චිත්ත විථිය අවසන් වන්නේ ඵල සිත් එකක් හෝ දෙකක් පහළ වීමෙන් අනතුරුවයි. එවිට හෙතෙම ඵලස්ථයෙකි. සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයා ඉඩ ලැබුණු හැම විටම ඵල සමවතට සමවදිමින් උතුම් සුවය විඳ ගනියි. හෙතෙම එතෙකින් නො නවතියි. සෝවාන් ඵල සමාපත්තිය පිළිබඳ තිබෙන ඡන්දය නොහොත් කැමැත්ත අත්හැර යළි විදර්ශනාවට ‍ෙයාමුවී, එම විදර්ශනා ඥානය අවසන සකෘදාගාමි මාර්ග ඥානය දක්වා ගමන් කරයි. එලෙස ගමන් කර සකෘදාගාමි ඵලයට පත් වූ පුද්ගලයා එතෙකින්නො නැවතී සකෘදාගාමී ඵල සමාපත්තිය පිළිබඳ තිබෙන ඡන්දය හෙවත් කැමැත්ත අතහැර දමා, විදසුන් වැඩීම මගින් අනාගාමි මාර්ග ඥානයට පත් වෙයි. මෙලෙස ක්‍රම ක්‍රමයෙන් ගමන් කර දස සංයෝජන දුරු කර අරහත් මාර්ග ඵල ඥානය දක්වා ගමන් කරයි. දස සංයෝජන යනු සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස, කාම රාග, පටිඝ, රූප රාග, අරූප රාග, මානය, උද්ධච්ච සහ අවිජ්ජාවයි. මාර්ග ඵල ලැබීමට නම් මෙම සංයෝජන ප්‍රහානය කළ යුතු බව වැටහෙනවා ඇත.
ඉහත දැක් වූ අයුරින් සතර මග සතර ඵලවලට පත් වූ උතුමෝ ආර්යයන් වහන්සේ වශයෙන් හැඳින්වෙති. ප්‍රධාන වශයෙන් ආර්ය පුද්ගලයන් අට දෙනකු වශයෙන් සඳහන් වුවද, ප්‍රභේද වශයෙන් ආර්ය පුද්ගලයන් එකසිය අට දෙනකු සිටින බව ධර්මයෙහි සඳහන් වෙයි. සෝවාන් පුද්ගලයා භව සතක් ඇතුළත සෙසු මාර්ගඵල පිළිවෙළින් උතුම් වූ අරහත්ඵලයට පත්වෙයි. සකෘදාගාමී පුද්ගලයා වනාහී සක්කාය දිට්ඨිය ඇතුළු මුල් සංයෝජන තුන ප්‍රහානය කොට ඇතත් කාම රාග, ව්‍යාපාදය ප්‍රහීන කොට නැත. ඔහු ඒවා තුනී කොට ඇත. එබැවින් හෙතෙම යළි මිනිස් ලොව ඉපදීමට ඉඩ ඇත.
කාම රාග, ව්‍යාපාද ආදී කොට ඇති පංච ඕරම්භාගීය සංයෝජන ප්‍රහීන කළ පුද්ගලයා අනාගාමී වූ අයකු වශයෙන් සැලකෙයි. හෙතෙම යළි කාම ලෝකයට නොපැමිණෙයි. මේ භවයේ දී රහත් ඵලයට පත් නොවුවහොත් ශුද්ධාවාස බඹ ලොවේහි ඉපිද එහිදී රහත්ව පිරිනිවන් පාන්නේ ය. රහත් බවට පත්වීමට රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා යන උද්ධංභාගීය සංයෝජන පහ ද ප්‍රහීන කළ යුතු වේ.
රහත් භාවය හෙවත් නිවන අවබෝධ කිරීම දක්වා සසුන්හි පිළිවෙත් පිරිය යුතු ය. එසේ පිළිවෙත් පුරන පුද්ගලයා ආර්ය ශ්‍රාවකයකු වශයෙන් සැලකිය හැකි ය. ආර්ය පුද්ගලයා යනු ආර්යත්වයට පත් වූ පුද්ගලයායි. බුද්ධ දේශනාවට අනුකූලව පොත්පත් ලියන, දේශනා පවත්වන පුද්ගලයන් ආර්ය ශ්‍රාවකයන් මිස ආර්යයන් වහන්සේ වශයෙන් හැඳින්වීමට නොහැක. භාවනා කරමින් සිත දියුණු කැර ගැනීමට පංච කාමයන්ගෙන් දුරස්විය යුතු ය. පස්කම් සුව විඳිමින්, නොයෙකුත් ලෞකික අපේක්‍ෂාවන් සිත්හි දරාගෙන කටයුතු කරන උදවියට භාවනා වැඩීම අසීරුය. කාමච්ඡන්ද ඇතුළු පංච නීවරණ යටපත් කර ගැනීමෙන් ධ්‍යාන මතු කර ගත හැකි වුව ද, යළි නීවරණ හටගත් සැනින් ධ්‍යානය පිරිහෙයි. එසේ හෙයින් කලබලකාරී පරිසරයක මහජනයා සමග ඇලෙමින්, ගැලෙමින්, මාධ්‍යයන්හි පෙනී සිටිමින්, අයිතිවාසිකම් සඳහා සටන් කරමින්, නිමක් නැති ඉදිකිරීම්හි නියැළෙමින්, විහාරස්ථානවල සහ භාවනා මධ්‍යස්ථානවල නොයෙක් ගොඩනැඟිලි ඉදි කිරීමට ‍ෙවහෙසෙමින් කිසියම් ප්‍රමාණයකට විදර්ශනා වැඩිය හැකි වුවද, ඉතා අපහසුවෙන් සමථ භාවනාවක් වැඩිය හැකි වුවද, සිත් තුළ ජනිත වන නීවරණ යටපත් කිරීම අපහසුවනවා ඇත. එබැවින් සමථ විදර්ශනා වැඩීමේ දී පංච කාමයන්ගෙන් සිත, ගත දෙකම ඈත් කර ගත යුතු ය. පෘථජ්ජන සිත නිරන්තරයෙන්ම නීවරණ ධර්ම සහ පංච කාමයන් තුළ සැරිසැරීම ස්වභාවයි.
ඇතැම් භාවනා උපදේශකයන් භාවනා කරන අයට වැරැදි වැටහීම් ලබා දෙන අන්දම දැක ගත හැකි ය. සෝවාන් ආදී මාර්ග ඵල ලැබූ බවට සහතික පවා දෙන ස්ථාන පිළිබඳ වර්තමානයේ අසන්නට ලැබෙයි. භාවනා කිරීමේ දී පූර්ව නිගමන හා දැනුම අනුව සිත් පහළ වීම සිදුවේ. එය ඉතා සියුම් ලෙස දැනෙයි. මෙයින් තමන්ටම තමන් රැවටෙන සෙයක් සිදුවිය හැකි අතර එසේ වරදවාගත් භාවනා උපදේශකයෝද ඇතැම් දෙනා මුළා කිරීමට සමත් වෙති. විදසුන් වඩන පැවිදි හෝ ගිහි හෝ කවරකු වුව ද නිවැරැදි උපදෙස් ඇතිව භාවනා කරන්නේ නම් සමර්ශන, පච්චයපරිග්ගහ, උදයව්‍ය ආදී ඥාන පහළ වෙයි. මැනැවින් සිහිය පවත්වා ගත් කල්හි සත්ව, පුද්ගල සංඥාව එනම් ආත්ම සංඥාව ඉවත්ව යයි. නාම රූප ධර්මයන් පමණක්ය යන වැටහීමට එළඹ සිටියි. ක්‍රම ක්‍රමයෙන් පිරිසුදු නුවණ වැඩෙයි. මමය කියා සත්වයකු පුද්ගලයකු නැත්තේ ය, නාම රූප ධර්මයන් පමණක් ඇත්තේ ය, එම නාම රූප ධර්ම ද අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යන ඥානය පහළ වෙයි.
සිත පිළිබඳ විග්‍රහ කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණු අසලට එන්නට තරම්වත් හැකි කිසිදු මනෝවිද්‍යාවක් පෙරදිග හෝ අපරදිග හෝ නොමැත. එදා මෙදාතුර පවතින සියලු මනෝවිද්‍යාත්මක කරුණු බුද්ධදේශනාව තුළ අන්තර්ගතව ඇත. බුද්ධ දේශනාව වනාහී බටහිර මනෝවිද්‍යාව වැනි තර්ක මත ගොඩනැඟුණු, හොඳ නරක මිශ්‍ර වූ, අනුමාන කිරීමෙන් ප්‍රකාශිත දෙයක් නොවේ. ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ගත හැකි ඉතා සුපිරිසුදු ඥානයකි. මනැස පිළිබඳ නිරවුල්, නිවැරැදි වැටහීමක් කෙලෙසකවත් බුදුදහමෙන් එපිට විද්‍යාවක් තුළින් ලබා ගත නොහැක. විද්‍යා උපාධි කොතෙක් ලබා ගත්තද සම්බුදුදෙසුම හමුවේ ඒ සියල්ල නිශ්ප්‍රභ වෙයි. භාවනා කරන ඇතැම් දෙන සිරුර භාවනාවෙහි යෙදුවත්, සිත භාවනාවේ නොයොදවති. පැවිදි වීමේ දී වුව ද එකරුණ එලෙසමය. සිත පැවිදි නොවී කය පැවිදි කර ගත් බොහෝ දෙනා සමාජය මුළාවට පත් කරති. එමගින් සිදුවන්නේ මග ඵල ලාභීන් බිහිවීම කෙසේ වෙතත්, පැවිදි බව ව්‍යාපාරයක් කර ගත්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් පවා නොමැති, සසුනට හානි කරන, සමාජය අවුල් සහගත තත්ත්වයට පත් කරන එක්තරා පිරිසක් බිහි වීම පමණකි.
නිවන ලබා ගැනීමට අදහස් කරන්නේ නම් සිත එක අරමුණක පිහිටුවා ගැනීමට හැකියාව ලබා ගත යුතු යි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ඇති ත්‍රිලක්‍ෂණය පිළිබඳ දැනුමක් ලබා ගත යුතුය. යම් දිනක සංස්කාරයන්ගේ තත්ත්වය වටහා ගැනීමට හැකි වුවහොත්, සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තා වෙයි. එබැවින් සංස්කාර ධර්මයන්ගේ ස්වභාව මෙනෙහි කළ යුතු ය. බුදුදහමෙහි සමථ සහ විදර්ශනා වශයෙන් භාවනා ක්‍රම දෙකක් පෙන්වා ඇත. විදර්ශනා භාවනාව මගින් නිවන ප්‍රත්‍යක්‍ෂ කරන අතර, සමථ භාවනා මගින් ධ්‍යාන අභිඥා ලබා ගත හැකි වෙයි. භාවනා කරන පුද්ගලයා යෝගාවචරයා යනුවෙන් හඳුන්වයි. ඔබ යෝගාවචරයකු වශයෙන් කිසියම් භාවනාවක නිරත වීමට අදහස් කරන්නේ නම්, පළමුව කාය සංවරය සහ වාග් සංවරය ඇති කැර ගත යුතුයි. බොහෝ දෙනා භාවනා කිරීමට යොමු වන්නේ මෙම මූලික සුදුසුකම් දෙකවත් නොමැතිවය. කය, වචනය සංවර නොකරගෙන සිත සංවර කැර ගත නොහැකි ය. කය, වචනය සංවර කැර ගෙන සිල්වතකු බවට පත් වුවහොත්, මනැස සංවර කැර ගැනීමේ හැකියාව ලැබෙයි. මෙසේ කය, වචනය සංවර කරගැනීම ශීල විසුද්ධියයි.
අපේ සිත, නොඑසේනම් මනැස නිරතුරුවම චංචල ගතියෙන් යුක්තය. එම චංචල මනැස පාලනය කිරීමට භාවනාව උපකාරී වෙයි. එය ධ්‍යාන ලබා ගැනීමට ද ඉවහල් වෙයි. එබැවින් කළ යුතු වන්නේ සිත හෙවත් මනැස එක් තැන්ව තබා ගැනීමට උත්සාහ කිරීමයි. තම මනැසෙහි තැන්පත්ව තිබෙන නීවරණ ධර්ම යටපත් කර ගත හැකි නම් ධ්‍යාන ලබා ගැනීමට හැකියාව ලැබෙයි. නීවරණ ඉවත්වූ විට ඔබේ සිත පිරිසුදු බවට පත් වෙයි. එම තත්ත්වය ‘චිත්ත විසුද්ධිය’ වශයෙන් හැඳින්වේ. සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකිමින් පංචස්කන්ධය දෙස ස්කන්ධ වශයෙන් මෙන්ම නාම, රූප වශයෙන් සහ ආයතන වශයෙන් බැලීමත් මෙසේ ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් බැලීම මගින් මමය, මාගේය යන හැඟීම නැති කර ගැනීමත් කළ හැකි ය. එලෙස ඇති කර ගන්නා පිරිසුදු බව හඳුන්වන්නේ ‘දිට්ඨි විසුද්ධිය’ යනුවෙන් ය. මෙම දිට්ඨි විසුද්ධිය ලැබූ යෝගියාට තම ජීවිතය පිළිබඳ තරමක් දුරට වැටහීමක් ඇති වේ. එ නිසාම ඔහු තුළින් ආත්ම දෘෂ්ඨිය ඉවත් වේ.


එනම් ඔහු පංචස්කන්ධය දෙස අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය අනුව බලයි. එසේ බලන ඔහුට සිතෙහි පවතින විසි හතර ආකාරයක සැකයන් දුරු කර ගැනීමට හැකියාව ලැබෙයි.
එලෙස සුවිසි වැදෑරුම් සැකයන් ඉවත් කර ගැනීම ‘කංකාවිතරණ විසුද්ධිය’ යනුවෙන් හඳුන්වයි. මේ වන විට යෝගියාගේ සිතෙහි ක්ලේශයන් බොහෝ දුරට සමනය වී ඇත. හෙතෙම යළිත් පංචස්කන්ධය, සංස්කාර ධර්මයන් තිලකුණු අනුව බලයි. මෙම අවස්ථාව වන විට සිතෙහි ඇතිවන අමුතු ස්වභාව නිසා ඔහුට නොමඟ යන සිතුවිලි ඇතිවීමට ද පිළිවන. දැන් තමන්ට නිවන අවබෝධ වී තිබෙන බව හැඟීමට ද ඉඩ ඇත. මෙය භාවනාව කිලිටි කරන අවස්ථාවකි. ඒවා උපක්ලේශයන් වශයෙන් හඳුන්වයි. එම උපක්ලේෂ නිවන් මාර්ග, ඵල නොවේයයි යන ඥානය උපදවා ගැනීම ‘මග්ගාමග්ග ඥාන දස්සන විසුද්ධිය’ යනුවෙන් හඳුන්වයි. සංස්කාර ධර්මයන්ගේ හට ගැනීම, විනාශවීම යන කරුණු දක්නට ද පිළිවන. එය උදයව්‍ය ඥානය වශයෙන් හඳුන්වයි. එලෙස යථා තත්ත්වය අවබෝධ කරවන ඥාන නවයක් ඇත. ඒවා නව මහා විදර්ශනා ඥාන යනුවෙන් හඳුන්වයි. එම නව මහා විදර්ශනා ඥානය පහළවීමෙන් ඇතිවන පිරිසුදු භාවය ‘පටිපදා ඥාන දස්සන විසුද්ධිය’ යනුවෙන් හඳුන්වයි. එම තත්ත්වය ලැබූ යෝගාවචරයා මාර්ගඵල ලැබීමට ආසන්නව සිටියි. අවසාන වශයෙන් හෙතෙම සංස්කාර ධර්මයන් මෙනෙහි කිරීම නිසා, සත්‍යානුලෝමික ඥානය ලබයි. අනතුරුව, ගෝත්‍රභු ඥානය, මාර්ග ඥානය, ඵල ඥානය වැනි ඥාන ලබයි. මෙසේ ඵල ඥාන ලැබීම, ‘ඥාන දස්සන විසුද්ධිය’ යනුවෙන් හඳුන්වයි. ත්‍රිලක්‍ෂණ භාවනා වැඩීමෙන් මග ඵල ලබන අයුරු ඉතා කෙටියෙන් පැහැදිලි කළෙමි. මේ අයුරින් නිවන් ලැබීමට නම් ඔබ කළ යුත්තේ භාවනා ප්‍රගුණ කිරීම බව පැහැදිලි ය. විදර්ශනා භාවනාව වැඩීමෙන් මෙම ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වේ.

උතුම් ම රක්ෂණය සෝවාන් වීම යි

සෝවාන් ඵලයට පත් වීමේ ඇති වටිනාකම කියැවෙන ලිපියකි.
වෛද්‍ය කුමුදු ශ්‍රී කුරුප්පු
සද්ධානුසාරී ව හෝ ධම්මානුසාරී ව පෘථග්ජන භාවය ඉක්මවා සිටින පුද්ගලයන් ‘සම්බෝධිපරායණ’ පුද්ගලයන් ලෙස සැලකෙන බව අපි දනිමු. ‘සම්බෝධි පරායණ’ යන්නෙන් අදහස් වන්නේ ‘නිවන් අවබෝධයට යොමු වූ’ යන්නයි. එසේ වුවත් තව ම ඔවුහු නිවන් අවබෝධයට නියත වූවෝ නො වෙති! නිවන් අවබෝධයට නියත වූ ‘නියත සම්බෝධිපරායණ’ තත්ත්වයට පුද්ගලයකු පැමිණෙන්නේ සෝවාන් ඵලයට පත් වීමෙනි. මේ කරුණ ඉතා පැහැදිලි ලෙස බුදු පියාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍රයෙහි පෙන්වා වදාරා ඇත.
“මහණෙනි, මා විසින් මනා කොට දෙසන ලද, ප්‍රකට කරන ලද, විවර කරන ලද, පැහැදිලි කරන ලද, කඩ තිර සිඳින ලද මේ ධර්මයෙහි, යම් භික්ෂුවක් (හෝ ගිහියෙක්) තුන් සංයෝජන ප්‍රහීණ කළෝ ද, ඒ සැම සෝතාපන්න වූවෝ වෙති. දුගතියෙහි නොවැටෙන ස්වභාව ඇත්තෝ වෙති. නිවන් අවබෝධයට නියත වූවෝ (නියත සම්බෝධිපරායණයෝ) වෙති.
“එසේ ම මහණෙනි, මා විසින් මනා කොට දෙසන ලද ප්‍රකට කරන ලද විවර කරන ලද, පැහැදිලි කරන ලද, කඩ තිර සිඳින ලද, මේ ධර්මයෙහි යම් භික්ෂුවක් (හෝ ගිහියෙක්), ධම්මානුසාරී හෝ සද්ධානුසාරී වෙත් ද, සැම නිවන් අවබෝධයට යොමු වූවෝ (සම්බෝධිපරායණායෝ) වෙති.
(අලගද්දූපම සූත්‍රය, ම. නි.)
ඉහත බුදු සමිඳුන් වදාරා ඇති පරිදි, සද්ධානුසාරී හා ධම්මානුසාරී පුද්ගලයෝ නිවන් අවබෝධයට යොමු වූවෝ වෙති; සෝවන් ඵලයට පත් වන තුරු ආර්ය ශ්‍රාවකයාගේ තත්ත්වය ‘නියත නැති බව‘ පෙනේ. මේ වෙනසට හේතුව කුමක් විය හැකි ද?
සෝවන් ඵලයට පත් වූ පුද්ගලයා තුළ තථාගත දහමේ සත්‍යතාව පිළිබඳ ඉතා ගැඹුරු විදසුන් නුවණක් (විදර්ශනා ප්‍රඥාවක්) පවතී. ඒ ගැඹුරු විදර්ශනා ප්‍රඥාව හේතුකොටගෙන ඇතැම් සංසාරික කෙලෙස් බැඳීම් (සංයෝජන ධර්ම) ඔහු කෙරෙන් මුළුමනින් ම ප්‍රහාණය වී ඇත. ඔහු නිවන් අවබෝධයට නියත වී සිටින්නේ මේ කෙලෙස් ප්‍රහාණය හේතුවෙනි.
එහෙත් තව ම සෝවන් මාර්ගය වඩන (සද්ධානුසාරී හා ධම්මානුසාරී) පුද්ගලයන් තුළ එවැනි ගැඹුරු විදර්ශනා ප්‍රඥාවක් නැත. ඒ නිසා ම කිසිදු සංසාරික කෙලෙස් බැඳීමක් (සංයෝජන ධර්මයක්) තව ම ඔවුන් කෙරෙන් ප්‍රහාණය වී නැත. ඔවුන් තව ම නිවන් අවබෝධයට නියත වූ (නියත සම්බෝධිපරායණ) පුද්ගලයන් ලෙස නොසැලකෙන්නේ එනිසා බව පෙනේ.
කෙසේ වෙතත්, සද්ධානුසාරී හෝ ධම්මානුසාරී අවස්ථාවේ සිටින්නකු මරණයට පත් වන්නේ නම්, සෝවන් ඵලයට පත් නොවී ඔහුගේ මරණය සිදු නොවන බව බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාරා ඇත. එහෙයින් සද්ධානුසාරී ව හෝ ධම්මානුසාරී ව මේ නිවන් මගට බැසගත්තා වූ බුද්ධ ශ්‍රාවකයා තමන් තුළ පිබිදී පවත්නා සද්ධාදී කුසල ගුණ ධර්මයන් නොසැලී නොපිරීහී මරණ මොහොත දක්වා ම දියුණු කරගැනීමට ක්‍රියා කළ යුතු ය. සෝවන් ඵලයට පත් වන තුරු ආර්ය ශ්‍රාවකයා තුළ තෙරුවන් කෙරෙහි සැක කිරීම් (විචිකිච්ඡා) හා වැරදි පිළිවෙත්වල පැටලීම් (සීලබ්බත පරාමාස) යන කෙලෙස් දුර්වලතා හටගැනීමේ අවදානම පහ වී නැති බැවින් ඔහු ඉතා සැලකිලිමත් විය යුතු ය. ඒ අවදානම මුළුමනින් ම පහ වී යන්නේ සෝවන් ඵලයට පත් වීමේදී ය.
යමකුට මේ ජීවිතය තුළදී ම උතුම් වූ සෝවන් ඵලය උපදවාගෙන වාසය කිරීමට හැකි වේ නම්, ඔහු මිනිසකු වශයෙන් ලැබිය හැකි සියලු ලෞකික සැපයන් අබිබවා යන උත්තරීතර සැපතක් ළඟා කරගත්තෙකු ලෙස බුදු පියාණන් වහන්සේ වදාළ සේක. එහෙයින් බුදු බණ කෙරෙහි අවංක ව යොමු වූ සැදැහැවත් බුද්ධ ශ්‍රාවකයකුගේ අවම ඉලක්කය විය යුත්තේ කෙසේ හෝ මේ ජීවිතය තුළදී ම උතුම් වූ සෝවන් ඵලය උදා කරගැනීම යි.
සෝවන් ඵලයට පත් වූ පුද්ගලයා සතර අපා බියෙන් මුළුමනින් ම මිදී නිවන් අවබෝධයට නියත වී සිටින උතුම් වාසනාවන්තයෙකි. ඒ අනුව, ඔහු තමාගේ සංසාර ජීවිතයෙහි ‘ආත්මාරක්ෂාව‘ සලසා ගත්තකු ලෙස හැඳින්විය හැකි ය. ඇත්තෙන් ම සෝවන් ඵලයට පත් වීමේ වටිනාකම වචනයෙන් විස්තර කරලීම පහසු නො වේ. ඒ නිසා ම බුදු පියාණන් වහන්සේ පවා මේ උතුම් සෝවන් ඵලයෙහි අගය පැහැදිලි කිරීම සඳහා විවිධ වූ විචිත්‍ර වූ උපමා යොදාගෙන ඇති අයුරු තථාගත දේශනා විමසීමේදී පෙනී යයි. ඉන් එක් දේශනාවක මෙසේ දැක්වෙයි:
“පථව්‍යා ඒකරජ්ජේන
සග්ගස්ස ගමනේන වා
සබ්බ ලෝකාධිපච්චේන
සෝතාපත්තිඵලං වරං”
“පොළෝ තලයෙහි එක ම (සක්විති) රජු වීමටත්, දෙව් ලොව යෑමටත්, සියලු ලෝකයන්හි අධිපති බව ලැබීමටත්, යන සියල්,ට ම වඩා සෝවන් ඵලය උතුම් වන්නේ ය.” (ධම්මපදය, ගාථා - 178, ඛු. නි.)
බුදු පියාණන් වහන්සේ විසින් ඉහත සඳහන් උදානය වදාරන ලද්දේ අනේපිඬු සිටුවරයාගේ ‘කාල’ නමැති සිටු පුතු සෝවන් ඵලයට පත් වූ අවස්ථාව අරමුණු කරගනිමිනි. මේ අයුරින් බුදු සමිඳුන් සෝවන් ඵලයෙහි අගය වර්ණනා කොට ඇත්තේ වරක් දෙවරක් නම් නො වේ. විවිධ අවස්ථාවල, විවිධ අයුරින් තමන් වහන්සේගේ ශ්‍රාවක-ශ්‍රාවිකාවන් හමුවේ මේ සෝවන් ඵලයෙහි අගය පහදා දුන් බුදු පියාණෝ, ඒ සඳහා නිබඳ ව ඔවුන් උනන්දු කරවූ සේක. සංයුක්ත නිකායේ අභිසමය සංයුත්තයේ එන පහත දැක්වෙන පුවත ඊට කදිම නිදසුනකි.
එක් අවස්ථාවෙක බුදු පියාණන් වහන්සේ තම නිය අගින් පස් බිඳක් ගෙන, තමන් වහන්සේ සමීපයෙහි සිටි භික්ෂු සංඝයාට දක්වා මෙසේ විචාළ සේක:
“මහණෙනි, මාගේ මේ නිය අගෙහි ඇති පස් ප්‍රමාණයත්, මේ මහ පොළොවේ ඇති පස් ප්‍රමාණයත් අතරින් කවරක් විශාල වේ ද?”
“ස්වාමීනි, මේ මහ පොළොවෙහි ඇති පස් ප්‍රමාණය අතිවිශාල ය. ඔබ වහන්සේගේ නිය අගෙහි ඇති පස් ප්‍රමාණය ඉතා අල්ප ය. මේ මහ පොළොවෙහි ඇති පස් හා සසඳන කල, ඔබ වහන්සේගේ නිය අගෙහි ඇති පස් බිඳ සියයෙන් පංගුවකුදු නොවන්නේ ය; දහසින් පංගුවකුදු නොවන්නේ ය. සිය දහසින් පංගුවකුදු නොවන්නේ ය.”
“එසේ ම මහණෙනි, දිට්ඨි සම්පන්න (සෝවාන්) ආර්ය ශ්‍රාවකයා විසින් ප්‍රහාණය කරන ලද (සසර) දුක් ප්‍රමාණය අතිවිශාල ය. ඔහුට ඉතිරි ව ඇති යම් දුකක් වේ නම්, එය ඉතා අල්ප ය. එය ඔහු විසින් ප්‍රහාණය කරන ලද දුක් කඳ හා සසඳන කල සියයෙන් පංගුවකුදු නොවන්නේ ය. දහසින් පංගුවකුදු නොවන්නේ ය. සිය දහසින් පංගුවකුදු නොවන්නේ ය.
තථාගත බුදු පියාණන් වහන්සේ මේ අයුරින් සෝවන් ඵලය පිළිබඳ වර්ණනා කොට ඇත්තේ, එහි අගය උන් වහන්සේගේ බුදු නුවණින් මනා ව අවබෝධ කොටගෙන සිටි බැවිනි. සෝවන් ඵලයට පත් නොවූ පුද්ගලයකුට, තව කොපමණ කාලයක් කොපමණ වාරයක් මේ බියකරු සසරෙහි නැවත නැවතත් උපත ලබමින්, ලෙඩ රෝග, මරණ, ශෝක, වැලපීම්, දුක්, දොම්නස්, සිත්තැවුල් ආදි අනේක විධ දුක් පීඩාවන්ට මුහුණ දෙන්නට සිදු වනු ඇත් දැ යි සීමාවක් පැනවිය නොහැකි ය. එසේ ම කොපමණ වාරයක් තිරිසන්, ප්‍රේත, අසුර, නරක යන සතර අපා දුගතීන්හි උපත ලබමින් අප්‍රමාණ වූ කායික මානසික දුක් වේදනාවන්ට ලක් වන්නට සිදු වනු ඇත් දැ යි කිව නොහැකි ය.
ඒ අනුව සෝවන් ඵලයට පත් නොවූ පුද්ගලයකුගේ ඉදිරි සංසාර ජීවිතය කොතරම් අවිනිශ්චිත ද? කොතරම් අනාරක්ෂිත ද, කොතරම් අවදානම් සහිත ද? යන්න අපට සිතාගැනීමට හැකි වෙයි. එසේ නමුත් සෝවන් ඵලයට පත් වූ පුද්ගලයකුට නම්, තව ආත්මභාව සතකට වඩා මේ දුක්-බිය පිරි සසරෙහි රැඳී සිටීමට සිදු නො වෙයි. උපරිම වශයෙන් ආත්මභව සතක් ඇතුළත ඔහු මේ සසර දුකින් අත්මිදෙන්නට සමත් වෙයි. ඒ ආත්මභව කිහිපය තුළ පවා ඔහු කිසි විටෙකත් තිරිසන් - ප්‍රේත - නිරය ආදි වූ අපා දුගතියකට නො වැටෙයි. ඔහු මුළුමනින් ම සතර අපා බියෙන් මිදුණෙක් වෙයි. සෝවන් ඵලයෙහි අසිරිය එය යි. සෝවන් ඵලය සක්විති රජ සැපතටත් වඩා අගනේ යැ යි බුදු පියාණන් වහන්සේ වදාරා ඇත්තේ ද එබැවිනි.
සෝවන් පුද්ගලයා නිවන් දක්නා තුරා උපත ලබන්නේ දිව්‍ය - මනුෂ්‍ය යන සුගති භූමිවල පමණි. එසේ උපත ලද විට, ඇතැම් අවස්ථාවල, ඒ ඒ ලෝකවලට අදාළ වූ යම් යම් කායික මානසික වේදනාවන්ට මුහුණ දෙන්නට ඔහුට සිදු විය හැකි වුවත්, එය ඔහු විසින් නැති කරන ලද දුක් කඳ හා සසඳන කළ අල්ප මාත්‍ර වූවකි; නොගිණිය හැක්කකි.
සෝවන් ඵලයට පත් වීම කොතරම් උතුම් සම්පතක් ද යන්න හැඟීයන්නේ මේ කරුණු පිළිබඳ නිවැරදි වැටහීමක් ඇති වූ පුද්ගලයකුට පමණි. එවන් පුද්ගලයා, තමා වෙත ඒ උතුම් සම්පත ළඟා කරගැනීම සඳහා ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? යන්න සොයා බැලීමට කිසි සේත් ම ප්‍රමාද නොවනු ඇත. මක් නිසා ද යත්, මේ බියකරු සසර පැවැත්ම තුළ ප්‍රමාදයට කිසිදු අවකාශයක් නොමැති බැවිනි.

Sunday, 4 March 2012

භවාංග චිත්තය ගැන බිදක්...




කර්මය කුශලාකුශල වශයෙන් දෙවැදෑරුම් වේ. 


එයින් අකුශල කර්මය, ලෝභ ද්වේශ මෝහාදී කෘෂ්ණ ධර්මයන්ගෙන් ක්ලිෂ්ටය. අදුරුය. අකුශල කර්මය කිලිටි බැවින් එහි විපාක වශයෙන් පහළ වන්නා වූ භවාංග ද සියුම් අරමුණු, ගැබුරු අරමුනු ගැනීමට අපොහොසත් අදුරු භවාංගයක් වෙයි. තිරිසනුන්ට ඇත්තේ අකුශල කර්මයෙන් ජනිත භවාංග සන්තානයෙකි. එබැවින් ඔවුහු මිනිසුන් දැන ගන්නා වූ, මිනිසුන්ට දත හැකි වූ කරුණු දැන ගැනීමට නො සමත් වෙති. තිරිසනුන් පමණක් නොව සතර අපායටම අයත් සත්ත්වයෝ අකුශල භවාංග ඇත්තෝය. 


කුශලය ද ඥාන සම්ප්‍රයුක්ත කුශලය හා ඥාන විප්‍රයුක්ත කුශලය යයි දෙවැදෑරුම් වේ. 


හීන වූ ඥාන විප්‍රයුක්ත කුශල කර්මයෙන් හීන වූ අහේතුක භවාංගයක් උපදවනු ලැබේ. එය චිත්තාංග වශයෙන් අකුශල කර්මයෙන් උපදවන භවාංගයට සමාන වූවකි. මිනිස් ලොව උත්පත්තියෙන් ම අන්ධ වූද, බිහිරි වූද, ගොළු වූද, නපුංසක වූද, තවත් එබදු දුබල කම් ඇත්තා වූද පුද්ගලයන්ට ඇත්තේ හීන ඥාන විප්‍රයුක්ත කුශලයෙන් උපදවන අහේතුක භවාංගයය. එය තිරිසනුන්ගේ භවාංගයට වඩා මදක් උසස්ය. 


උත්කෘෂ්ට ඥන විප්‍රයුක්ත කුශලයෙන් හා හීන ඥාන සම්ප්‍රයුක්ත කුශලයෙන්ද මධ්‍යම ප්‍රමාණයට ආලෝකවත් වූ ඥාන විප්‍රයුක්ත සහේතුක භවාංගයක් උපදවනු ලැබේ. සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ සන්තානයෙහි ඇත්තේ ඒ ඥාන විප්‍රයුක්ත භවාංගයය. 


උත්කෘෂ්ට ඥාන සම්ප්‍රයුක්ත කුශලයෙන් අතිශයින් පරිශුද්ධ වූ ඥාන සම්ප්‍රයුක්ත භවාංගයක් උපදවනු ලැබේ. එය අභිධර්ම පොත් වල ත්‍රිහේතුක භවාංග නාමයෙන් හදුන්වනු ලැබේ. ඒ ත්‍රිහේතුක භවාංගය අතිපරිශුද්ධ බැවින් ඉතා සියුම් වූද ගැබුරු වූද කරුණු එහි සැපෙයි. එබැවින් ඒ භවාංගය ඇති සන්තානයෙහි ස්කන්ධ ධාත්වායතන ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතීත්‍යසමුත්පාදාදි ධර්ම දැන ගන්නා වූද ධර්මයන්ගේ අනිත්‍යාදි ලක්ෂණ දැනගන්නා වූද සිත් වලට පහළ වීමට අවකාශ ලැබේ. එබැවින් ඔවුහුම ධ්‍යාන මාර්ගඵලාදි උත්තරී මනුෂය ධර්මයන් ලැබීමෙහි සමත් වෙති. සෙස්සෝ නො සමත් වෙති. ධ්‍යානාදිය ඒ ආත්මයේ දීම ලැබීමට ත්‍රිහේතුක පුද්ගලයකුම විය යුතුයයි කියනුයේ සුපරිශුද්ධ භවාංග සන්තානය නැතියවුනට ඒ ගැබුරු ධර්ම සිතින් හසු කර ගත නො හෙන බැවිනි.


අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමිපාදයන් වහන්සේගේ "අභිධර්මයේ මූලික කරුණු" ග්‍රන්ථයෙනි උපුටා ගැන්මකි.

Tuesday, 28 February 2012

නොරැවටෙන්න.......



සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුයි....නොපමාව කුසල් දහම් සම්පාදනය කරන්න...
යන බුදු වදන් පෙල අද ඇස් ඉදිරි පිට සත්‍ය වෙලා. හේතූන් නිසා මේ හට ගන්නා මේ සංස්කාර ධර්මයන් හේතූන් නැති වන විට නැතිවෙනවා. මේක හේතු ඵල දහමක්. මේ ආයතනයන් හරහා ස්පර්ෂ කරන රූප ධර්මයන් ඒ මොහොතේදීම සිද බිද ගියත් නැවත නැවතත් සිත තුල උපදින හේතුව තාමත් පවතින ධර්මයක්. මේ නිසා විටින් විට දුක එන බව ප්‍රත්‍යක්ෂ කරුණක්. මනසිකාරය තුල නැවත නැවත උත්පත්තිය ලබා දීම දුක් ගංගාවක්. ජීවිත දුක විටින් විට මොහොතින් මොහොත කුමන හෝ දැඩිව අල්ලා ගන්නා මනසිකාරයක් තුල ඉපදී හේතූන් නිසා හට ගන්නා වූ වේදනා ස්කන්ධයේ ගලා යාම දුකෙහි උරුමය වෙලා. සංඥාව තුල නැවත නැවතත් හට ගන්නා විඤාණ ස්කන්ධය සහ ගලා යන පංචස්කන්ධ ධර්මයන් මගේය මමය කියා දැඩිව ගත් මානය නිසා  මේ වේදනාව මටම උරුම වෙලා. ඒ විදවන්නෙත් මම වෙලා. කෝ ආදරය කරන අය?????කෝ රැක බලා ගන්නා උදවිය?????? කාටද මේ දුකට තිත තැබිය හැක්කේ?????
අප බුදු පියාණන් වහන්සේ සිත ගැන කල ගවේශනය විශ්මය ජනකයි. උන් වහන්සේ අවබෝධ කලා සත්වයෙක් පුද්ගලයෙක් නොවන මේ අකුශල ධර්මයන් ප්‍රභාෂ්වර සිත ආවරනය කරගෙන ඉන්නා විත්තිය.
මේ අකුශල ධර්මයන් මැඩ පැවැත්වීම නම් වීරිය තුල මනාව පැවැත් වූ සිහියකින්ම කල යුත්තක්. වංචක ධර්මයන් සෑම විටම පාහේ අපව රවටනවා. කරුණාව, මෛත්‍රිය වේශයෙන් පැමිණෙන රාගය අපව කොටු කර ගන්නේ ඉතා සියුම් ලෙසයි. ඒ කරුණාව, මෛත්‍රිය වේශයෙන් පැමිනුන රාගය පසුව රාගයේ වේශයෙන්ම පෙනී සිටිනවා. එවිට අප ඒ දැලට කොටු වී හමාරය. මෙ අවස්ථාව ඉතා භයානකයි. මේ සිතෙහි වංචකත්වය හදුනා නොගත් කල්හි දස අකුසල් කර්ම පථය සම්පූර්ණ වන්නේ ඉතා වේගයෙන්.
දැන් නම් දැලට අසු වෙලා. භවය සකස් වෙලා. ආයෙමත් ජරා මරණ උරුම වෙලා. ස්පර්ෂ ආයතන ලැබුනා නම් නැවතත් පංචස්කන්ධ දුක ලැබෙනවා. ඒ නිසා ලහි ලහියේ කල යුත්තේ මේ දුක ප්‍රත්‍යක්ෂ අවබෝධ කිරීමයි.

Saturday, 25 February 2012

කල යුත්ත



අපි තවම ගත කරන්නේ මළ අතීතය තුලත්, නොඉපදුන අනාගතය තුලත්ය..එහෙත් සත්‍ය ලෙසම පවතින්නේ ඇතිව නැතිව යන වර්තමානයක් බව ප්‍රත්‍යක්ෂයෙන්ම දැක නැහැ..ඒ නුවන ලබාගෙන නැහැ..අතීතය නිරුද්ධ වෙලා, අනාගතය හට ගෙන නැහැ, වර්තමානයද ඇතිව නැතිව යන මේ ඇත්ත හරියටම පෙනෙන දවසට මේ ලෝකය මේ පැවැත්ම ගැන  කල කිරීම ඇතිවෙනවා..කලකිරෙන්නේ නොඇලෙන්නමයි..එවිට මේ තුන් කාලයෙන්ම මිදුනා යැයි නුවන පහළ වෙනවා..යමක් සදහා මේ බ්‍රහ්මචරියාවේ හැසිරිලා ඉවරයි..කල යුත්ත කලා..දැන් ආයෙත් උපදින්නේ නැහැ..එනම් පංචඋපාදානස්කන්ධ දුක උපදින්නේ නැහැ..අතීතය ඇති බවට අනාගතය ඇති බවට උපදින්න තියෙන හේතුව නිරුද්ධ වෙලා..යමක් සිහිවන විට එය නැති කල හැකි වුවත් නැවත නැවත සිහිවන ගතිය නැති කල නොහැක..එහෙත් නැවත නැවත සිහිවන ගතියද නැතිකල බව...එනම් ඉපදීම නැති කල බව එනම් නූපදින බව ප්‍රත්‍යක්ෂ කලා...නූපදිනම බවයි නිවන..එනම් ඉපදීම ඉවරයි..කල යුත්ත කලා...........................................................


බ්‍රහ්මචරියාවේ හැසිරිලා ඉවරයි..කල යුත්ත කලා..මතු කල යුත්තක් නැහැ කියන ඥණ දර්ශනය ගන්න හදන්න එපා..ගන්න බැහැ..කෙලෙසුන්ගෙන් මිදුනහම, මිදුනා කියන නුවන ඉබේම ලැබේවි..........


මිදීම ගන්න හදන්න එපා..ගන්න බැහැ..ඒ සදහා මහන්සි වෙන්නත් එපා..නොඇලුනු දවසට මිදේවි..........


නොඇලීම කියන එක ගන්න බැහැ..නොඇලී ඉන්න බැහැ..නොඇලී ඉන්න හදන්න එපා..කළකිරුනු දවසට නොඇලෙනවා කියන එක වෙයි..........


හිතලා කලකිරෙන්න හදන්න එපා..බැහැ..එවිට ඒ කලකිරෙන්න හදන එක තුල වුවත් පුද්ගලයෙක් ඉන්නවා..ඇත්ත ඇති සැටියෙන් දැක්ක විට ඉබේම කලකිරෙයි..........


ඇත්ත ඇති සැටියෙන් බලන්න හදන්න එපා..බලන්න යන්න එපා..එහෙම ගියා කියලා පෙනෙන්නේ නැහැ..හිත සමාධි වුන දවසට ඇත්ත ඇති සැටියෙන් පෙනෙයි..........


හිත සමාධි කරන්න හදන්න නම් එපා..හිත සමාධි කරන්න බැහැ..හිත කය දෙක සැප සහගත දවසට හිත සමාධි ගත වෙයි.........


හිත කය දෙක සැප සහගත කරන්න නම් හදන්න එපා..කරන්න බැහැ..හිත කය දෙක සංසිදි දවසට හිත කය සැප සහගත වෙයි..........


හිත කය දෙක සංසිදුවා ගන්න නම් හදන්න එපා..එහෙම වෙන්නේ නැහැ..නිරාමිස ප්‍රීතියක් ඇති වුන දවසට හිත කය දෙක සංසිදේ..........


නිරාමිස ප්‍රීතිය කියන එක ගන්න හදන්න එපා..ගන්න බැහැ..ප්‍ර‍මෝදය ඇති කල්හි නිරාමිස ප්‍රීතිය ඇති වේ..........


ප්‍ර‍මෝදය කියන එක ගන්න හදන්න එපා..ගන්න බැහැ..යෝනිසෝ මනසිකාරය ඇති කල්හි ප්‍ර‍මෝදය ඇති වේ..........


යෝනිසෝ මනසිකාරය කල හැකියි..........
එනම් කල යුත්තේ වීර්යයක හිත පිහිටුවා යෝනිසෝ මනසිකාරය කිරීමයි..........


අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමිපාදයන් වහන්සේගේ ධර්ම දේශනාවක් ඇසුරිනි...




මෙම වටිනා දේශනා ශ්‍රවනය කිරීමට පහත අඩවියට යන්න
http://venerablesudassana.org/